Friday 18 November 2011

ජය පැරදුම

අවුරුදු පහයි මාස හතක් වයස අපේ පුතා ගිය සති අන්තයේ 5TV Milkshake competition එකට චිත්‍රයක් ඇන්දා. අම්මත් එක්ක ටිකක් වලි දාල එහෙම තමයි ඒක ඇන්දේ. ඒ පුතාගේ favourite character එක “Thomas the tank engine”. ඇත්තටම එයා ඇඳපු එක හරි ලස්සනයි. මම ෆොටෝ එකකුත් ගත්ත එයා ලොකු උනාම පෙන්නන්න. කොහොම හරි ඉතින් එකේ අනිත් පැත්තෙ නම ගම වයස ලියලා සඳුදා මම ඒක පෝස්ට් කරා. 


කොලු පැටියා මේ දවස් ටිකේම උදෙන්නම නැගිටල TV එක බලන් හිටිය එයාගෙ චිත්‍රෙ පෙන්නයි කියල. පුතා විතරක් නෙවෙ මමයි අම්මයිත් හිතගෙන හිටියෙ මෙයාගේ චිත්‍රෙ සැනසිලි තෑග්ගකට හරි තෙරේවි කියල.. අපි එහෙම හිතුවට ඒක උනෙ නැහැනේ.. මට පුතා ගැන දුක හිතුනා.. මම ඕනවට වඩා බලාපොරොත්තු තියන් ඉඳලා මගේ හිතේ. අම්මා පුතාට කිව්ව අපි තව චිත්‍ර ඇඳල යවමු කියලා... මමත් කිව්ව අපි තව try කරමු කියලා.. එතකොට පුතා කිව්වා මට මොනවා හම්බවෙයිද දන්නෙ නෑ winner උනහම කියලා.


මට තේරුනා පුතාට තරඟෙක පැරදුම තාම දරා ගන්න බැහැ කියල.. (සමහර විට එයාට නොතේරුනාද මංදා තරඟෙ ඉවරයි කියලා..) පොඩි ළමයින්ට පරාජය කියන එක දරා ගන්න කොහොමත් අමරුයි. එයාලට ඕනේ හැමදාම දිනන්න..


මට මතකයි ගිය අවුරුද්දේ (2010) අලුත් අවුරුදු උත්සවයේදී පුතා බනිස් කාල පලවෙනියා උනා.. එයා ඒ වෙලේ ගොඩක් සතුටු උනා.. ඒත් බැලුම් පිපිරවීමේ තරගයෙන් පුතා පැරදිලා ඇඬුවා..


දෙමව්ව්පියෝ විදිහට අපි අපේ පැටවුන්ට අමරුවෙන් උනත් පරාජය කියන එක උගන්නන ඕනෙ කියල මම හිතා ගත්තා.. 


අපි තරඟයකට ඉදිරිපත් වෙන්න ඕනෙ ජය හෝ පැරදුම කෝක උනත් හිත හදාගන්න පුලුවන් නම් විතරයි මම හිතන්නෙ..


හැබැයි ඉතිං එහෙම කියලා කිසිම තරඟයකට ඉදිරිපත් නොවී ඉන්නවනම් හරි අභියෝග වලට මුහුණ නොදී මඟහරිනවා නම් හරි නම් ඉතින් ඒක දියුණුවෙන්න ඕනකම තියන කෙනෙකුගේ ලක්ෂණයක් නෙවෙයි...


ක්‍රි.ව. 2011 ක් වූ නොවැම්බර් මස දහ අට වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

Thursday 17 November 2011

ජීවිතේට ආදර්ශ පාඨයක්..

මීට අවුරුදු 24කට විතර කලින් මම පෝතක බාලදක්ෂයෙක වෙලා ඉන්න කාලෙ ඉස්සෙල්ලම මගෙ කණට අහපු බාලදක්ෂ පොරොන්දුව මට පහුගිය දවසක මතක් උනා. "මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමටත්, සෑම කල්හි අනුනට සේවය කිරීමටත්, බාලදක්ෂ නීතියට කීකරු වීමටත් මාගේ උපරිම උත්සාහය යොදවන බවට දිවුරා පොරොන්දු වෙමි."


මටත් හිතුනා මගේ ජීවිතේටත් මේ වගේ දෙයක තිබුනා නම් හොඳයි කියලා...


ඔය ගැන හිතේ තියන අතරේ ඊයෙ උදේ office එනකොට train එකේ දි මගේ හිතට මෙහෙම සිතිවිල්ලක් ආවා..


ජීවත් වන මහ පොලොවට බරක් නොවන්නටත්, 
අනන්ත වු හීන වලින් හිත පුරවාගෙන දුක් නොවන්නටත්, 
මහන්සියෙන් ලබාගත් දෙයින් සතුටු වන්නටත්, 
දයාබර බිරිඳ සහ දරු පැටවු දෙදෙනා රැක ගනිමින්...
ඔවුන්ට සුන්දර හෙටක් තනන්නටත්, 
හිතට අවංකව යහපත් සිතිවිල්ලෙන් ජීවත් වන්නටත්,  
මාගේ උපරිම උත්සාහය යොදවන බවට 
මම මටම පොරොන්දු වෙමි...



මේ පොරොන්දුවේ පිහිටලා මම හෙට නෙවෙයි අද ඉඳලා වැඩ කරනවා...


ක්‍රි.ව. 2011 ක් වූ නොවැම්බර් මස දාහත් වන දින පූජිත විසින් සටහන් කරන වගයි...