Sunday 25 December 2016

17 කොටස - මේ ඉන්නෙ ගොපලු දෙවියොද කියල මං බය නිසා

දක්‍ෂිණ පථයේ ප්‍රධාන රාජ්‍යයන් වූ චේර, පාණ්‌ඩ්‍ය, චෝල, ආන්ධ්‍රා යන රාජ්‍යයන් අතරින් චේර, පාණ්‌ඩ්‍ය, චෝල යන රාජ්‍යත්‍රය එළාර පාලනය කළ සිහලද්වීපයේ රජරට රාජ්‍යයට පමණක්‌ නොව කාවන්තිස්‌ස පාලනය කළ මාගම රාජ්‍යයට වුව ද නුහුරු නුපුරුදු රාජ්‍යයන් වූයේ නැත.

ඒ, මේ රාජ්‍යන් අතරත් පෙර කී සිහලද්වීප රාජ්‍යද්වය අතරත් මහ ජයට සිදු වූ වෙළ හෙළඳාම කරණ කොට ගෙනය.

සිහල රාජ්‍ය ද්වයෙන්ම අපනයනය කෙරුණු විවිධ කුළු බඩුද, මුතු, මැණික්‌, ඇත් දළ ආදිය ද චේර, පාණ්‌ඩ්‍ය, චෝල වෙළෙන්දෝ පෙරළා රෝම, යවන (ග්‍රීක) පර්සියානු වෙළෙඳ පළවලට යෑවූහ. (සෘජුවම සිහලද්වීපය සොයා පැමිණි ඉහත කී වර්ගයේ වෙළෙදුන්ද නොසිටියා නොවේ ) මේ සියල්ලටම වඩා සිත් ගන්නා තවත් ප්‍රබල වෙළෙඳාමක්‌ ද වෙළෙඳ තරගයක්‌ ද එළාර කාවන්තිස්‌ස රාජ්‍ය පාලන සමයේ පැවතිණි. ඒ වූ කලී පබළු නිෂ්පාදන කර්මාන්තයයි.

පබළු කැපීම, ඔප දැමීම මාල නිර්මාණය කිරීම ඇතුළු කාර්යයන් රැසක්‌ වෙනුවෙන් ඉදිකෙරුණු මහා කර්මාන්ත ශාලාවක්‌ තිස්‌සමහාරාමයේ විය.

එළාර රජ්ජුරුවෝ ඊට තරගයක්‌ දෙනු වස්‌ තිරු නමැති ශූර චෝල මිනිසකු යොදවා එබඳු කර්මාන්ත ශාලාවක්‌ පබළුගල ප්‍රදේශයේ ඉදිකළහ. මේ නිසා විවිධ දක්‍ෂිණ පථ වෙළෙඳුන් සේම, එකම දක්‍ෂිණ පථ වෙළෙඳ කණ්‌ඩායමමද මෙම ස්‌ථානද්වය කෙරෙහි පැමිණි අවස්‌ථා තිබිණි.

තිස්‌සමහාරාමයේ පබළු කර්මාන්තයට සම්බන්ධ පිරිස්‌ ගාමණී අබය කුමරුට අප්‍රමාණ ලෙස ගෞරව පක්‍ෂපාතී මිනිසුන් වූහ. එහෙයින්ම එළාර රජුට මුලින්ම ලැබුණු තොරතුර වූයේ ගාමණී අබය පබළු වෙළෙන්දෙකු මෙන් වෙස්‌වළා ගෙන අමරාවතී ගංගාව අසබඩ පිහිටි චේර රාජ්‍යයේ අගනුවර වූ කරූර් නගරයට පළාගොස්‌ ඇති බවය.

එළාර කාවන්තිස්‌ස මෙන් නොව සියලුම දක්‍ෂිණාපථ රාජ්‍යයන් සමග තදබල දේශපාලන සබඳතා ද පැවැත්වූවෙකි. එහෙයින් හැකි ඉක්‌මනින් තම හිතවත් චේර පාලකයා වෙත පණිවිඩ යෑවූ එළාර රජු ගාමණී අබය සොයා අල්ලා දෙන මෙන් ඉල්ලා සිටියේය. චේර භටයෝ ගාමණී අබය සොයා කරූර් පමණක්‌ නොව අමරාවතී ගඟ වැටෙන කාවේරි ගංගාවේ සෑහෙන ප්‍රදේශයක්‌ පුරා ද මහා මෙහෙයුමක්‌ දියත් කළහ.

ඉන් පමණක්‌ සෑහීමකට පත් වී සිටීමට එළාර රජුට ඉඩ දුන්නේ භට්‌ටාර නොවේ. ගාමණී සියල්ලන් මුළාකර සොලී දේශයට පලා යන්නට ඇතැයි යන සැකයක්‌ ද ඔහු තුළ විය.

ඒ අනුව එළාර රජු විසින් තම හිතවත් චෝල පාලකයා සොයා චෝල අගනුවර වූ උරේයියුර් වෙතට ද විශේෂ පණිවිඩකරුවකු යවනු ලැබිණි. තම මහ සෙනෙවි දීඝ ජන්තුගේ ඥති සොහොයුරකු වන භල්ලුක නමැත්තෙක්‌ මේ කාලයේ චෝල රජුගේ ඉහළම සෙනෙවියකුව සිටීම ද මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගැනිණි.

එළාර එතැනින් නතර වූයේ ද නැත. ඔහු කෝකටත්, තම රාජ්‍යයට මුහුදෙන් ආසන්නවම පිහිටි රාමේශ්වරමට යාබද පාණ්‌ඩ්‍ය රාජ්‍යයේ රජු සොයා සලියුර් නගරයට ද දූතයකු යෑව්වේය.

එහෙත් මෙකල දකුණේ පැවැති ප්‍රබලම රාජ්‍යය වූ ආන්ධ්‍රාව සමග ඔහුගේ සබඳකම් නොවීය.

ආන්ධ්‍රාව පාලනය කරන ලද්දේ සාතවාහන රජ පෙළපතය. බෞද්ධාගමට මහත් අනුග්‍රහයක්‌ දැක්‌වූ ඔවුන් අතරත් සිහලද්වීපයේ ඕනෑම බෞද්ධ රාජ්‍යයක්‌ අතරත් වෙළෙඳ සබඳකම් ඉක්‌මවා ගිය පුළුල් ආධ්‍යාත්මික සබඳතාවක්‌ විය. එය නොමඳවම මාගම රාජධානියත් ආන්ධ්‍රාවත් අතර ද පැවතිණි. ඒ ප්‍රමාණයටම රජරට රාජධානියත් ආන්ධ්‍රාවත් අතර සබඳකම් නොපැවතිණි.

එසේ වුව ද ආන්ධ්‍රාව පිළිබඳව කරදර වන්නට එළාරට අවශ්‍ය වූයේ නොවේ. මක්‌නිසාද බෞද්ධ කාවන්තිස්‌සට එරෙහිව පලා යන්නකුට රැකවරණ සැලසීමට ආන්ධ්‍රාව ඉදිරිපත් නොවන්නේය යන්න ඔහුගේ විශ්වාසය වූ බැවිණි.

"එතකොට කාලිංගය?"

භට්‌ටාර විමසුවේය.

"එය අපගේ මාතෘ භූමිය භට්‌ටාර. එය සහ අප අතර දැන් කිසිදු සබඳකමක්‌ නැතත් ඒ පිළිබඳව නොදන්නා සිහලුන් කිසි දිනෙක ඛාරවේල මහරජු සමග සබඳතා පැවැත්වූයේ නැහැ"

"මෙතැන මහා උත්ප්‍රාසයක්‌ තිබෙනවා දේවයන් වහන්ස..."

භට්‌ටාර හදිසි සිනහවකින් යුතුව කීවේය.

"ඒ මොකක්‌ද?"

"මේ රටේ දේශීය ගෝත්‍ර සමග මිශ්‍රවීමට පෙර සිංහලයන් ආවේත් කාලිංගයෙන්ය කියන කතාව ගැනයි මා කීවේ..."

යි පැවසූ භට්‌ටාර නිකමට මෙන් එළාරගෙන් මෙසේ ඇසුවේය.

"ඔබ එය විශ්වාස කරනවාද?"

"මගේ විශ්වාසයෙන් ඵලක්‌ නැහැ භට්‌ටාර ඔවුන්ට මා ආක්‍රමණිකයෙක්‌ පමණයි"

එළාරගේ හඬ මඳක්‌ බිඳිණි.

දැනට කලක පටන් භට්‌ටාර දැක පුරුදු, එළාර පෙළන පශ්චත්තාපය මේ මොහොතේ ද ඔහු කරා පැමිණ ඇති සෙයක්‌ ඔහුට වැටහිණි.

එළාරගේ හෘදය සාක්‍ෂියෙන් පැමිණෙන මේ බිඳුණු බිහිසුණු හඬ ද, ඊට පසුබිම සපයන ඔහුගේ අසුබවාදී සිතිවිලි ධාරාව ද අවසානයේ ගමන් කරන්නේ කොතැනකටද?

ඒ කොතැන වුවත් එතැනදී ඔහු ශ්‍රේෂ්ඨයකු වනු ඇති. එහෙත් මහත් වැර වෑයමෙන් ගොඩනැඟූ පරිණත රාජ්‍යයක්‌ ඒ සමගම තමා ඇතුළු සියල්ලන්ටම අහිමිවනු ඇති. මේ සුවිශේෂ වෙළෙඳ රාජ්‍යය, මේ සුවිශේෂ ඉසුරුමත් භූමිය කිසිදු වෙහෙසකින් තොරවම මාගම රාජ්‍යය විසින් ගිලගනු ඇති. එවිට මේ සා කාලයක්‌ මුළුල්ලේ එළාර පිළිබඳ මහත් විශ්වාසයකින් යුතුව මෙහි පැමිණි දක්‍ෂිණ පථයේ විවිධ ජන කොටස්‌වලටත්, විවිධ ප්‍රභූන්ටත් මහා වෙළෙඳ ප්‍රජාවටත් කුමන ඉරණමක්‌ අත්වේද?

"මේ ලෝකයේ බලසම්පන්න රජවරු සියල්ලන්ම ආක්‍රමණිකයන් තමා, සිංහලයන්ගේ වීරයා විජය රජ්ජුරුවෝත් ආක්‍රමණිකයෙක්‌..."

එළාර රජුගේ අසුබ සිතිවිලි ආපසු හරවන රිසි භට්‌ටාර කීවේය.

"නමුත්, ගාමණී අබය උපදින්නේ විජයගේ හදවතින් නොවෙයි. ඔහු උපදින්නේ දේවානම්පියතිස්‌සගේ හදවතින්. ඔහු පැමිණෙන්නේ රුධිර උරුමය ඉල්ලාගෙන නොවෙයි. ඔහු පැමිණෙන්නේ රාජ්‍ය උරුමය ඉල්ලාගෙන නොවෙයි. ඔහු පැමිණෙන්නේ මනුෂ්‍ය සම්ප්‍රදායක උරුමය ඉල්ලාගෙන. ඒ මනුෂ්‍ය සම්ප්‍රදාය සුරැකීමට සපථ කළ මිනිසුන්ගේ උරුමය ඉල්ලාගෙන..."

අනතුරුව තමාත් භට්‌ටාරත් අතර පැතිර ගිය නොරිස්‌සුම් සහගත නිහඬතාව බිඳිමින්ද තම ආත්ම කථනය අවසන් කරමින්ද එළාර රජ්ජුරුවෝ මෙසේ කීවෝය.

"...ඔහු පරාජය කළ නොහැකියි. විනාශ කළ හැකියි, එසේ කිරීම සඳහා ඉවසීම ද, නොඉවසීම ද, යුක්‌තිය ද, අයුක්‌තිය ද, සාමය ද, යුද්ධය ද, ව්‍යාජය ද, අව්‍යාජය ද, සාධාරණ බව ද අසාධාරණ බව ද යන සියල්ලම යොදවනු"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

හිද්දලයා තම මහ විශාල ගවරැළ දක්‌කාගෙන පරෙයියන්ගල තැනිතලාව වෙතට පැමිණියේය.

මුලදී විශාල ගව රැළක්‌ ආන්බාන් කිරීම තමා ලද දඬුවමක්‌ සේ ඔහුට දැනුන ද ඔහු ඉක්‌මනින්ම එයට හුරුවිය. අශ්වයන් හැසිරවීමේත් ගවයන් හැසිරවීමේත් යම් සමාන කමක්‌ ඇතැයි මුලදී තමන් තුළ වූ වැරදි සහගත හැඟීම නොවන්නට එය තවත් ඉක්‌මන් විය හැකිව තිබිණ යි ඔහුගේ සිත කීවේය.

දුටු මොහොතේ පටන් ඔහුගේ සිත කියෑවීමට උත්සාහ කරන කළු මැණිකේ නොවැරදීම ඔහු කැමති වෑංජන සහිත අහර මුලක්‌ ඔහුට සපයයි. රන් මැණිකේ ද එයට හවුල් නොවෙනවා නොවේ. එහෙත් රන් මැණිකේ, එයට හවුල් නොවන තරමට කළු මැණිකේ කැමතිය.

තම තමන්ගේ කටයුතු තම තමන්ම කර ගැනීම සාමාන්‍යයෙන් ගැමි ගොවි ගෙදරක සාමාජිකයන්ගේ සිරිත වූ නමුදු හිද්දලයාගේ වැඩ කටයුතු කර දෙන්නට කවුරුත් උනන්දුවන බවක්‌ හැම විටම පෙනිණ. ඒ සියල්ලටමත් ඉහළින් කළු මැණිකේ කටයුතු කළාය.

එය නොබෝ දිනකින් ඌරුපැලැස්‌සේ මහ ගමගෙදර අයට පමණක්‌ නොව මුළු කොටගේපිටිය ප්‍රදේශයේම අයට වුවද රහසක්‌ වූයේ නැත.

රහසක්‌ නොවූවා පමණක්‌ නොව එය ගැමියන්ට රසවත් තොරතුරක්‌ ද විය. එහෙත්, පිංගුවා නමැති තරුණයාට එය එසේ වූයේ නැත. ඔහු කෝපයක්‌ ද ශෝකයක්‌ ද සිත්හි දරාගෙන දැන් බොහෝ දවස්‌ ගතකොට තිබේ.

පිංගුවා වූ කලී හිදල්ලයා මෙන් හුදු ගොපල්ලකු පමණක්‌ වූයේ නොවේ, ඔහු ගමේ ප්‍රකට ගොසාමිකයකු (ගව හිමියකු) ද වූයේය. මහ ගමරාළට මෙන් මහා ගව පට්‌ටියක්‌ ඔහු සතුව නොපැවතිය ද ඔහු සතු ගවයන් සෑහෙන සංඛ්‍යාවක්‌ විය.

ගවයන් සෑහෙන සංඛ්‍යාවක හිමිකරුවකු වීම සෑහෙන වත්කමක්‌ ඇත්තෙකැයි පිළිගැනෙන්නකි. ගමේ කාටත් මෙන්ම ලියදි යායක්‌ ද, නිදහසේ අතපය දිගහැර නිදා ගන්නට කුඩා නිවසක්‌ ද මවුපිය උරුමයෙන්ම ඔහුට තිබිණි. කුඹුරේ නියරේ සියලු වැඩකටයුතු පිළිබඳව ද, ගව දරුවන් පිළිබඳ සියළු කටයුතුද මනාව දැන සිටි හේ ගමේ තරුණියන්ගේ ආකර්ෂණයට හොඳින්ම ලක්‌වූ පුද්ගලයෙක්‌ද විය.

එහෙත්, කළු මැණිකේගේ සිත දිනාගන්නට ඔහුට ඔහු සිතුවාට වඩා වෙහෙසක්‌ දරන්නට සිදුවිණි. දිනක්‌ ඒ වෙනුවෙන් මඩ පිටින් බඩ පිනුම් ගසන්නට ද, බඩ උඩින් කරත්ත රෝදයක්‌ යවා පෙන්වන්නට ද ඔහුට සිදුවිණි. අවසානයේදී ඔහු කළු මැණිකේගේ සිත දිනා ගත්තේය.

වදෙන් පොරෙන් හෝ 'බහ' ද ලබා ගත්තේය.

ගම ගෙදර ලැඟුම් ගෙන සිටින්නා පිළිබඳව කළු මැණිකේගෙන් විමසූ කල ඇය දුන් පිළිතුරෙන් ඔහු සැනසීමට ද සතුටට ද පත්විය. එහෙත්, ගමේ එවුන්ට මේ අලුත ආ එකා චරිතයක්‌ වීම පිළිබඳවද ඒ චරිතය කළු මැණිකේගේ චරිතය සමග එක්‌කොට කතා කිරීම පිළිබඳවද ඔහුට ගොපළු යක්‍ෂයා (දෙවියා) ආරූඪව සිටියේය.

සාමාන්‍යයෙන් පිංගුවා ගවයන් කැවීමට පරෙයියන්ගලට පැමිණෙන්නේ නැත. එහෙත්, තම සුමිතුරු තාකි සමග ඔහු අද පරෙයියන්ගලට පැමිණ සිටියි. ආරෝවකටම නොව ගවයන් කැවීමට ද එක්‌කමය. තාකිද එසේය. ඔහුගේ ගවයෝ ද මෙහි පැමිණ සිටිති.

පරෙයියන්ගල මහතැන්නේ අද ගවරැල් තුනකි.

ගොපල්ලන් තිදෙනෙකි.

මැද මහා ගවරැල සමග සිටින්නා ගවයන් මෙහෙයවීමේ ආධුනික බවෙන් තවමත් මිදී නැති බව පෙනේ.

එය ගවයන්ටවත් ඔහුටවත් ප්‍රශ්නයක්‌ නොවුණ ද අනෙකුත් දෙදෙනාටම ද ඔවුන්ගේ ගවයන්ට ද එය ප්‍රශ්නයක්‌ විය. ඒ ගවයෝ මහ ගව රැළ මැදට මුසුව මහ ජංජාලයක්‌ කළහ.

ආධුනික ගොපල්ලා තවත් අසීරු තත්ත්වයකට පත්වී සිටියි.

"ලබ්බ දෙගව්වයි, ලබුවැල ගව්වයි කිව්වලු"

පිංගුවා කෑගසා කියමින් සිනාසුණේය.

"එම්බල තෝ කවුද?"

එසේ ඇසුවේ පිංගුවා ගේ සුමිතුරා තාකිය.

එයට පිළිතුරු දීමට ඉස්‌පාසුවක්‌ ලබාගනු වෙනුවට හිද්දලයා විසිරී යන ගවයන් එකතුකර ගැනීමට මහත් වෑයමක්‌ දරමින් සිටියේය.

ඒ දෙස මහත් පරීක්‍ෂාවෙන් බලමින් සිටි පිංගුවා තාකිට මෙසේ කීවේය.

"ගොලුවෙක්‌ නොවෙයි ඒ උගේ ලොකුකම"

ගොපල්ලෝ හරක්‌ බැලීම පසෙකින් තබා හිද්දලයා අසලටම පැමිණියහ. හිද්දලයා කුලෑටි බවක්‌ ද ආචාරශීලී බවක්‌ ද පාමින් ඔවුන් දෙස බැලුවේය.

"අඩා මේ හරක්‌ කාගේද?"

පිංගුවා දන්නා දේ නොදන්නා මෙන් විමසුවේය.

"ඌරුපැළැස්‌සෙ මහ ගමරාළගෙ ආයුබොවන්ඩ"

හිද්දලයා කීවේය.

"හෝ.... මහ ගමරාළගෙ හරක්‌..."

ප්‍රතිරාවය කළ පිංගුවා නපුරු විලාශයක්‌ මවා ගනිමින් හිද්දලයාගේ මුහුණට එබුණේය. තාකි ද තම මිතුරා සතුටු කරන්නට ඔහු අනුකරණය කළේය.

"දැන් තා එහෙම කිව්වම අපි බයවෙන්න ඕනෙද?"

එයට කුමන පිළිතුරක්‌ දෙන්න දැයි හිද්දලයාට වැටහුණේ නැත. එහෙයින් ඔහු,

"ඇයි?"

ගෑවේය.

ගොපල්ලෝ සිනාසුනහ.

සිනහව අතරින් ද්වේෂය ද, ඊර්ෂ්‍යාව ද ප්‍රශ්නය ද පැන නැඟුණේය.

"දැන් සෑහෙන දොහක ඉඳන් එහෙ ලැගගෙන ඉන්නවාය කියන කිරිකෝඩුවා උඹද?"

පිළිතුරක්‌ නොදත් හිද්දලයා රැළ කඩාගෙන ඉවතට යන වසුපැටියා පසුපස දිවීය.

පිංගුවා දුර්මුඛ විය. තාකි ඔහු දිරිගැන්වීය.

"අහපං"

පිංගුවා ද තාකි ද වසුපැටියා පසුපස දිවයන හිද්දලයා පසුපස දිව ගියේය.

"තා අර එහේ ඉන්න නෑම්බියන් දෙන්නගෙන් කාට හරි වහ වැටිලද?"

නතරවන හිද්දලයා යම් පිළිතුරක්‌ දීමට මෙන් දෙදෙනා දෙසට හැරී බැලුවේය.

තාකිට පිංගුවා දෙස බැලුණු අතර ඔහුගේ අසරණකම ඔහු තුළ කම්පාවක්‌ ඇති කළේය. එහෙයින් හේ හිද්දලයා පවසන්නට උත්සාහ කරන්නකට බාධා කරමින් වියරු හඬකින් කෑගැසුවේය.

"නැහැ කියපිය, කළු මැණිකේ කියල නම් කියන්න එපා" 

මූ මහා දරුණු මිනිහෙක්‌.

හිද්දලයා කියන්නට ආ දෙය ගිලගත් හෙයින් මූ රන් මැණිකේට කැමතියි කියනවානම් හොඳ යෑයි ඔහුට සිතිණි. ඔහු එසේ පවසනු ඇතැයි අපේක්‍ෂාවෙන් පිංගුවා මෙසේ කීවේය.

"කියාපිය තෝ කැමති රන් මැණිකේට ද කළු මැණිකේට ද?"

ගොපල්ලන්ගේ හැසිරීම හිද්දලයා තුළ මතුකළේ මහත් වූ හාස්‍ය රසයකි. තමන්ම හාස්‍යයෙන් මුසපත් වනු වස්‌ ඔහු මෙසේ කීවේය.

"දෙන්නටම"

"මූගේ කට වැඩියි..." 

පිංගුවා ගුගුළේය.

"පාටත් වැඩියි"

මාහා අව්රස්‌සනට නොගැලපෙන හිද්දලයාගේ රන්වන් සිරුර දෙස බලමින් තාකි කීවේය.

"ඇයි මං මූට ගහන්නේ නැත්තේ?"

පිංගුවා විමසුවේ ආවේශ වූ එකකු පරිදිය.

"බැරි වෙලාවත් මේ ඉන්නෙ ගොපලු දෙවියො ද කියල මං බය නිසා"

තාකි මහ හරුප කතාවක්‌ කීවේය.

සත්‍ය වශයෙන්ම ඔහුට මොහොතකට එසේ සිතී තිබිණ. මෙබඳු ප්‍රභාවක්‌ සහිත මිනිසකු ඔහු මින්පෙර මෙතරම් ආසන්නයට දැක නැත. එහෙත් සැබෑ මිතුරුකම යනු මිතුරා පහර දෙන පුද්ගලයාට තමාත් ඔහේ පහරදීම බව ඔහුගේ විශ්වාසය වූ හෙයින් ඔහුට මොහොතකට ගොපලු දෙවියන් යෑයි සිතුණු පුද්ගලයාට පහරදීමට ඔහුද ඉදිරියට පැන්නේය.

ඊට පෙර පිංගුවා ඉක්‌මන් වී තිබිණි.

තම කෙවිට අමෝරාගත් ඔහු හිද්දලයාගේ මුහුණ හරහා වේගවත් පහරක්‌ එල්ල කළේය.

හරක්‌ රැල උඩින් පියාඹා ගොස්‌, හරකුන් එකකු දෙදෙනකු තුන්දෙනකු මත පතිත වන පිංගුවාට ඊට පෙර සිදුවූයේ කුමක්‌දැයි තාකිට වැටහුණේ නැත.

"ගොපලු දෙවියෝ"

ඔහුට කියැවිණි.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 මැයි මස දා සය වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය දහ හත් වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි පස් වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a Comment