Tuesday, 27 December 2016

22 කොටස - අවදානම් තත්ත්වයක්‌, කුරුල්ලා පියාසර නොකළ යුතුය

කාවන්තිස්‌ස රජුගේ අභාවය සැළවූ සැණින් ශෝකයට පත්වූවෝ සේම, භීතියට පත්වූවෝ ද සිටියහ. ශෝකයට පත්වූවන්ගේ ලීලාවෙන් භීතියට පත්වූවෝ ද සිටියහ.

එළාර රජු සෙවනේ සිටි දීඝාභයට එය වේදනාකාරී අත්දැකීම් දෙකක්‌ ළඟාකර දුන්නේය. එකක්‌ ඔහුට තම පියා අහිමි වීමය. අනෙක තමා ද්‍රෝහියකු වශයෙන් නාම ගන්වා ඇති හෙයින් පිය රජුගේ අවමඟුලට සහභාගී වීමටවත් ඔහුට නොහැකි වීමය.

ශෝකයට පත් දීඝාභය සනසන ලද්දේ දීඝජන්තු, මිත්‍ර වැනි ඔහුගේ නව මිත්‍රයන් විසිනි. කාවන්තිස්‌ස රජුගේ අභාවය අසා භයට පත්වූ ඔවුහු ශෝකයට පත්වූවන්ගේ ලීලාවෙන් තම භය උදෙසා ක්‍රියාත්මක වූහ.

මක්‌ නිසා ද යත්, කාවන්තිස්‌ස රජු විසින් එක්‌වරම වැඩි වර්ධනය කරනු ලබන ගමන්ම යටපත් කරනුද ලැබ සිටි අදෘෂ්‍යමාන බලවේග ද්වයේ ම නිදහස්‌ දේශපාලන රංගාවතරණයට අදාල සියළු සාධකයන්ම දැන් සකස්‌ වී තිබුණු නිසාය.

අදෘෂ්‍යමාන සිහළද්වීප විමුක්‌තිකාමය සහ අදෘෂ්‍යමාන ගාමණී අබය නැමැති එකට බැඳුණු ප්‍රපංච යුග්මය මේ බලවේග විය.

දැන් ගාමණී අබය කොයි දීපංකරයකින් හෝ මතුව මාගමට පැමිණ ඔටුන්න සියතින්ම ගෙන හිසලා ගන්නේ යැයි ද, පසුදිනම ඔහු රජරට රාජ්‍ය සමඟ තම මාරාන්තික වියරු යුද්ධය ආරම්භ කරන්නේ යැයි ද මේ අමුතුම සත්ත්වයාගේ සේනාවන් විසින් රජරට රාජ්‍ය ලෙයින් නහවන්නේ යැයි ද වශයෙන් සියල්ලෝම භයට පත්ව සිටියහ.

එසේම, ඒ භය ප්‍රචාරයට ද පත්කොට සිටියහ.

එහෙයින්, ඔවුන් විසින් නොපමාවම ක්‍රියාවට නඟන ලද්දේ පිය රජුගේ මරණය සැළව ආරක්‍ෂාව - අනාරක්‍ෂාව නොතකා සැඟවී සිටි තැනකින් මාගම කරා හැල්මේ දිව එන, ගාමණී අබය අනපේක්‌ෂිතව විනාශ කොට දමන සැලසුම් කීපයකි.

භට්‌ටාරගේත් මිත්‍රගේත් ඒකාබද්ධ අණින් දැනට කලක පටන්ම මාගම රාජ්‍යයේ විවිධ තැන්වල ක්‍රියාත්මක වන වෙස්‌වලාගත් දුර්ගම සංග්‍රාමික කණ්‌ඩායම් මේ නිශ්චිත ප්‍රහාරක නිමිත්ත සඳහා යොදවන ලද අතර මෙහිදී ප්‍රථම වරට ඒ අරභයා එළාරට හිත පක්‌ෂපාතී ඇතැම් යක්‌ෂ ගෝත්‍රික කණ්‌ඩායම්ද යොදවනු ලැබිණි.

පණ්‌ඩුකාභය රජු සමයේ පටන් යක්‍ෂ ගෝත්‍රික බොහෝ පිරිස්‌ ආර්ය සිංහ වංශිකයන් සමඟ ද, නාග, දේව, රාක්‌ෂස වැනි අනෙකුත් ගෝත්‍ර සමඟද මිශ්‍රව සිංහල නැමැති ජාතියක්‌ ආරම්භ කළ ද මේ සහජීවනයට එකතු නොවුණු අනෙකුත් ගෝත්‍රවල සුළු සුළු පිරිස්‌ අතර මෙන්ම යක්‍ෂයන් අතර ද එබඳු අමිශ්‍ර පිරිස්‌ විය.

අනෙක්‌ ගෝත්‍රවල සුළු අමිශ්‍ර පිරිස අතරත් යක්‌ෂ ගෝත්‍රික අමිශ්‍ර පිරිස අතරත් එක්‌ කැපී පෙනෙන වෙනසක්‌ විය. එනම් යක්‌ෂ ගෝත්‍රික අමිශ්‍රයන්, සිංහලයන් මෙන් හෝ අනෙකුත් ගෝත්‍රිකයන් මෙන් හෝ බුදුදහම වැළඳගත් අය නොවීමය. එපමණක්‌ නොව ඔවුහු ඊට විරුද්ධ ආකල්ප දැක්‌වූ අය ද වූහ.

ඊට ප්‍රධාන හේතුව වූයේ තම යක්‌ෂ දෙවිවරුන් අරභයා බිලි පූජා සහ රුධිර පූජා පැවැත්වීමට, පණ්‌ඩුකාභය - මුටසිව කාලවලදී මෙන් නව සිංහල බෞද්ධ සමාජය තුළ ඔවුනට අනුබලයක්‌ නොවීමය, නැතහොත් එය පහත් පිළිකුල් කටයුතු දෙයක්‌ වශයෙන් සලකනු ලැබීමය. නාගරික බෞද්ධ සමාජය තුළ හෝ ග්‍රාමීය බෞද්ධ සමාජය තුළ හෝ, බිලිපුදගත් මේ දෙවිවරුන් නොසලකන ලද අතර කිසිවකුත් ඔවුන් කෙරෙහි භය පක්‌ෂපාත ද නොවූහ.

ඒ ඔවුනට ශක්‍රයාගේ පටන් තිස්‌තුන් කෝටියක්‌ සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් සිටි නිසා පමණක්‌ නොවේ. තම සාස්‌තෘවරයා වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යාට ඉහළින් දෙවියකු හෝ බ්‍රහ්මයකු හෝ ඇතැයි ඔවුන් විශ්වාස නොකළ නිසාය.

එහෙත්, බුදුන් වහන්සේ නැමැති සාස්‌තෘවරයා විසින් තමන් මේ භූමියෙන් පළවා හරින ලද්දේ යැයි යන (තමන් විසින්ම නිපදවා ගන්නා ලද) මිථ්‍යාවක ගැලී සිටි ඔවුහු බෞද්ධ රජවරුනට සිය කැමැත්තෙන් පක්‌ෂපාතී නොවූහ. එහෙත් ඒ නිසාම ඔවුන් විසින් නොපමාවම ආක්‍රමණිකයන්ගේ පාර්ශවය ගන්නා ලද්දේද නොවේ. ජෛන, බෞද්ධ වැනි බිලිපෙත් විරෝධී ධර්මයන්ට ව්‍යාජ ලෙස අනුග්‍රහ දක්‌වන ගමන්ම, එළාර බිලි පුද ගන්නා පැරණි වෛදික දෙවිවරුන් ඇදහුවද, මේ සමානකම සලකා පමණකින් වුව යක්‌ෂයෝ එළාර ගේ පාර්ශවය ගත්තෝ නොවෙති. එහෙත්, කල්යත්ම ඔවුහු ද නොදැනුවත්වම එළාර පාලන උපක්‍රමවලට නතුව උද්යෝගීමත් ගාමණී අබය විරෝධීන් බවට පත්ව සිටියහ.

මිත්‍ර විසින් මෙබඳු වෙස්‌වළාගත් ප්‍රහාරක යක්‌ෂ කණ්‌ඩායම් කීපයක්‌ මධ්‍ය කඳුකරයේ සිට මාගමට පැමිණෙන මාර්ගයක්‌ වූ විල්ලිකාඛාණ, කදලිගාම, තම්බලගාම වැනි ප්‍රදේශ වලද, බටහිර නැව් තොටුමුණු වූ කාලතිත්ථ, භීමතිත්ථ, ගිම්භතිත්ථ වැනි ප්‍රදේශවලද වහාම රඳවනු ලැබ තිබිණි.

ඒ ගාමණි අබය මධ්‍ය කඳුකරයේ සිට හෝ නෞකාවක්‌ මඟින් බටහිර වෙරළකට ගොඩබැස හෝ මාගමට පැමිණෙන්නේ යැයි ලැබුණු නිශ්චිත තොරතුරකට අනුව නොව තමන් තුළ පවත්නා යම් සැකයකට වාසියක්‌ සලසනු පිණිසය.

මේ හැර මහාතිත්ථයේත්, ජම්බුකෝළපට්‌ටනයේත් යොදවනලද චෝළ සේනාංක දෙකක සෙබළු දෑස්‌ රිදෙන තුරු දිවා රෑ නොබලා උතුරු දෙසින් ගොළු මුහුද දෙස බලා සිටියහ.

ප්‍රහාරක යක්‌ෂ කණ්‌ඩායම් පිළිබඳ රහස්‍ය තොරතුරු ගෝඨයිම්භර අතට පත්වන විට රජුගේ අභාවය පිළිබඳ තොරතුරු ගාමණී අබයට දැන්වීම සඳහා නන්දිමිත්‍ර මාගමින් පිටත්ව සිටියේය.

එහෙත්, දැන් ඔහු එසේ නොකොට වහාම ආපසු හැරී පැමිණිය යුතුය.

විහාර මහා දේවියගේ උපදෙස්‌ පරිදි වහාම ක්‍රියාත්මක වූ සෙනෙවියෝ ථුස්‌සදේව යටතේ ක්‍රියාත්මක වන හී පණිවිඩ සේවයේ මහඟු ප්‍රයෝජනය ලැබූහ.

නන්දිමිත්‍ර තම්බලගාමයේ පිහිටි අවසාන හී පොළට ළඟාවීමට මොහොතකට පෙර ගෝඨයිම්භරගේ හදිසි පණිවිඩය රැගත් හීය තම්බලගාම හී පොළේ හී පවුරේ ඇණී තිබුණේය.

"අවදානම් තත්ත්වයක්‌, කුරුල්ලා පියාසර නොකළ යුතුය"

හීයේ ඇමිණී පැමිණි පණිවිඩයේ සඳහන් වී තිබුණේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

විහාර මහා දේවියගේ උපදෙස්‌ පරිදි නොවැළැක්‌විය හැකි ආරක්‍ෂක පියවරක්‌ වශයෙන් කාවන්තිස්‌ස රජුගේ අවමංගලෝත්සවයට ගාමණි අබය නොකැඳවීම ඒ අර්ථයෙන් ඉතා යහපත් ප්‍රථිඵලයක්‌ උදා කළද, එය අනෙක්‌ අතින් මාගම රාජ්‍යය විෂයෙහි මහත් අමිහිරි අර්බුද රැසක්‌ මතු කළේය.

එකක්‌ නම් ගාමණී අබය දැන් ජීවතුන් අතර නොමැතිය යනුවෙන් පැතිරී ගිය කතාවය. තවෙකක්‌ නම් පිය රජුගේ අවමංගල කටයුතු තම කරට ගෙන ක්‍රියාකළ තිස්‌ස කුමරුවා එය අවසන්වීමත් සමඟම රාජ්‍ය පදප්‍රාප්තිය අපේක්‍ෂා කිරීමය.

කුමරුවා ඒ සඳහා පොළඹවන ලද්දේ භද්‍රවත් බිල්ව විසිනි.

බිල්ව අත රන් අසිපතක්‌ ද පොරොන්දු සන්නසක්‌ ද විය.

අනාගත තිස්‌ස රජුට පිරිනමන මෙන් ඒවා බිල්වට එවන ලද්දේ එළාර රජු විසිනි.

රන් අසිපත නව මිතුරු දමක සංකේතීය ත්‍යාගයක්‌වූ අතර සන්නස තුළ සටහන්ව තිබුණේ නිර් සංග්‍රාමික පොරොන්දුවකි. සදාකාලික යුද විරාමයකි.

භික්‍ෂූන් වහන්සේලාගේ ද අමාත්‍යවරුන් ඇතුළු සියළු ප්‍රභූවරුන්ගේ ද, මහා ජනතාවකගේ ද සහභාගීත්වය මධ්‍යයේ කාවන්තිස්‌ස මහ රජුගේ ආදාහන කටයුතු ඉතා විශිෂ්ට ආකාරයෙන් නිමකළ තිස්‌ස කුමරුවෝ තම මෑණියන් අමතා මෙසේ කීවෝය.

"මෑණියෙනි මා අභිෂේක ලබන්න සුදානම් !"

"මා පුදුමයට පත්කරවන්න එපා තිස්‌ස. ඔබ හොඳාකාරවම දන්නවා ඒ සඳහා සුදුස්‌සා අයියණ්‌ඩි බව......."

විහාර මහා දේවිය කීවාය.

".......නමුත් මේ සුදුස්‌සා කොහේ ද ඉන්නේ, අහසේ ද. පොළොවේ ද, එහෙමත් නැත්නම් මේ සක්‌වල ගලෙන් එහා ද?"

තිස්‌ස ප්‍රකාශ කළේ කෝපයෙනි.

විහාර මහා දේවිය නිහඬව සිටියාය.

"රාජ්‍ය අරාජකවීමේ අනතුර ඔබට වැටහෙන්නේ නැද්ද ?"

විහාර මහා දේවිය තවත් නිහඬව සිටියාය.

"දැහැමෙන් සෙමෙන් මේ රට පාලනය කරන්න මට බැරිද?"

විහාර මහා දේවිය තවත් නිහඬව නොසිටියාය.

"සාමකාමී නිදහස්‌ රටක්‌ පාලනය කිරීම එකක්‌. ආක්‍රමණිකයකුගේ තර්ජනයකට ලක්‌වූ රටක්‌ පාලනය කිරීම තවත් එකක්‌"

විහාර මහා දේවියගේ ප්‍රකාශයට තිස්‌සගේ දෙනෙත් දිළිසිණි. ඔහු ඉතා උනන්දුවෙන් මෙසේ කීවේය.

"ආක්‍රමණිකයා මා ඉදිරියේ දණ ගැසුවා, ඔහු කිසිදාක අප සමඟ යුද වදින්නේ නැහැ......."

විහාර මහා දේවිය තිගැස්‌සුණාය. තිස්‌ස දිගටම කියාගෙන ගියේය.

".........ඔහු මට පොරොන්දු සන්නසක්‌ සමඟ රන් අසිපතක්‌ එවා තිබුණා.........."

"තිස්‌ස !"

විහාර මහා දේවිය තිස්‌ස අසලටම පැමිණ ඔහුගේ දෑත් අල්ලා ගත්තාය.

"පුතේ, ඔහු ඔබට පිරිනමා ඇත්තේ මළපුඬුවක්‌. එය අයියණ්‌ඩිත් ඔබත් භේද කරන ගැටයක්‌..........."

"නැති අයියණ්‌ඩියෙක්‌ එක්‌ක මොකක්‌ද මට ඇතිකරගන්න පුළුවන් භේදය?"

"ඔහු සිටිනවා !"

විහාර මහා දේවිය උස්‌ හඬින් කීවාය.

"..........ඔහු සිටින තැන මා දන්නවා........."

තිස්‌සගේ කටේ කෙළ සිඳි ගියේය.

"..........නියමිත වේලාවට ඔහු පැමිණෙයි, ඔහුගේ උදහසට ලක්‌නොවී ඔය රන් අසිපතත් පොරොන්දු සන්නසත් නැවත එළාරට යවන්න........."

මඳ වේලාවක්‌ නිහඬවම සිටි තිස්‌ස ඒ අසල තිබූ අසුනකට බර වූයේය. නුහුරු චකිතයකින්ද බියකින්ද ඔහු සලිත වී සිටියේය.

"කවදාද ඔහු එන්නේ ?"

අන්තිමට තිස්‌ස ඇසුවේය.

".......ඔහු කැඳවාගෙන පැමිණීමට සෙනෙවිවරුන් අශ්වාරෝහක සේනාංකයක්‌ සුදානම් කරනවා...."

විහාර මහා දේවිය කීවාය.

"ඊට පෙර මා දිඝවාපියට යා යුතුයි"

තිස්‌ස කීවේය.

"........මෑණියෙනි ඔබත් මා සමඟ පැමිණිය යුතුයි !"

"ඒ මොකද ?"

"මා දැනටමත් ඔහුට ද්‍රොහිවී අවසන් ! අසුවුණොත් අයියණ්‌ඩි මගෙන් පළිගනියි......."

"නෑ තිස්‌ස ඔහු එබන්දෙක්‌ නොවෙයි. ඔහු වෛරයකින් කටයුතු කරන කෙනෙක්‌ නොවෙයි."

".......නෑ ! ඔබ මා සමඟ එන්න. ඔබ මා සමඟ සිටියහොත් ඔහු මට පහර දෙන එකක්‌ නැහැ."

මඳ සිනහවක්‌ පහළකළ මුත් විහාර මහා දේවිය තිස්‌ස සමඟ දීඝවාපියට යැමට එකඟ වූවාය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ගාමණි අබය කුමරුන් සහ පවුල රැගත් රාජකීය සන්නද්ධ අශ්වාරෝහක හමුදාව පුටභත්තසෙල (පලාබත්ගල) ප්‍රදේශය පසුකිරීමටත් පෙර නන්දිමිත්‍ර විසින් කාවන්තිස්‌ස රජුගේ අභාවයෙන් පසු මාගම සිදුවූ සියල්ල ගාමණී අබයට විස්‌තර කෙරිණි.

ඒ සියල්ලට සන්සුන්ව සවන් දුන් ගාමණී අබය නන්දිමිත්‍රට මෙසේ කීවේය.

"............මාත් තිස්‌ස මලණ්‌ඩිත් කුඩා කාලයේ නිතර හැංගිමුත්තන් ක්‍රීඩාවේ යෙදෙනවා. එක දවසක්‌ යම්කිසි හේතුවක්‌ නිසා මේ හැංගිමුත්තම අපට අතරමඟදි නතර කොට දමන්න සිදුවුණා. ඔහු හදන්නේ එහි ඉතිරි වූ කොටස දැන් කරන්න......."

ගාමණී අබය අසලින් ගමන් ගනිමින් සිටි සියළුම සෙනෙවිවරු සිනාසුණහ.

"...........මිනිසුන් තමන් කුඩා කාලයේ කරන සෙල්ලම් ඒ කුඩා කාලයේදීම අවසන් කොට දමන්න ඕනෑ. නැත්නම් ඔවුන් ඒවා වයසට ගියාට පසුව කරන්න ගන්නවා. දේශපාලනයේ යෙදෙන අය එසේ කිරීම හරිම භයානකයි............"

සෙනෙවිවරුන් යළිත් සිනාගන්වමින් පැවසු ගාමණී අබය තරමක්‌ ගැඹුරු හඬකින් නන්දිමිත්‍රට නියෝගයක්‌ කළේය.

"තිස්‌සට කියන්න පිස්‌සු නැතුව මවත් සමඟ පැමිණ මා හමුවන්න කියලා"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"මලණ්‌ඩ! අපගේ දයාබර මවත්, කඩොල් ඇතුත් රැගෙන ඔබ ඉක්‌මනින් පැමිණෙතැයි මම බලාපොරොත්තුව සිටිමි."

ඉහතකී පණිවිඩය රැගෙන මාගමින් දීඝවාපියට ගිය සාමාන්‍ය පණිවිඩකරුවා, අසාමාන්‍ය ඉක්‌මණකින් ආපසු පැමිණියේය.

ඊට හේතුවූයේ තිස්‌ස මාලිගයේ කාර්යභාර නිලධාරීන් පෙරළා තිස්‌ස කුමරුගෙන් මාගමට පණිවිඩයක්‌ භාරදීම පිණිස එම පණිවිඩකරුවා සත්කාර සංග්‍රහ දක්‌වා හෝ නොදක්‌වා හෝ රඳවා නොගැනීමය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ගාමණී අබය මහරජුගේ මුද්‍රාව සහිත දෙවන හසුන්පත රැගෙන මෙවර තිස්‌ස මාළිගයට ගියේ මාගම උසස්‌ රාජ්‍ය නිලධාරියෙකි. 

සාමාන්‍යයෙන් රජුගේ විශේෂ පණිවිඩ රැගෙන පැමිණෙන මෙවැන්නන් (පණිවිඩ ලබන්නන් කවර තරාතිරමේ අය වුවද) පණිවිඩය ලැබිය යුත්තා සෘජුවම මුණගැසිය යුතුවීම සිරිතකි.

තිස්‌ස කුමරුවෝ එම පණිවිඩකරුවා ද මඟහැරියහ.

එම පණිවිඩයේ වූයේ මෙබඳු අදහසකිත

"හොඳයි ඔබට පැමිණිය නොහැකි නම් මවත් කඩොල් ඇතාත් මාවෙත එවන්න"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"හොඳයි, පැමිණිය නොහැකිම නම් ඔබ ද නොපැමිණ, කඩොල් ඇතා ද නොඑවා මෑණියන් පමණක්‌වත් මා වෙත එවන්න.."

මහරජු, තිස්‌ස වෙත යවන ලද තෙවන පණිවිඩයෙන් කියැවුණේ එබඳු අදහසකි.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

දෙවනපිය ගාමණී අබය මහ රජ්ජුරුවෝ සිංහාසනාරූඪ ව සිටියහ.

සර්වාභරණයෙන් සැරසී, මුළුමනින්ම රැවුල මුඩුකළ මුහුණින්ද යුත් එතුමන් කෙරෙන් මහත් රූපසාර බවක්‌ ද, මහත් රාජ විභ්‍රමයක්‌ ද පළවිය.

එහෙත්, ඔහු මුහුණ අන්ධකාරවී තිබිණි. ගැඹුරු කණස්‌සළු ස්‌වභාවයකින් ඔහු ඕනෑවටත් වඩා සන්සුන්ව සිටියේය.

රාජ සභාවේ රැස්‌වී සිටින අමාත්‍යවරු ද සෙනෙවිවරු ද, රජු අසලින්ම අසුන්ගෙන සිටින කතී බිසව ද සෙල් පිළිම මෙන් නිහඬව සිටියහ.

අවසානයේදී රජ්ජුරුවෝ මෙසේ ශබ්ද පිරවූහ.

"කුමක්‌ද මේ දරුණු නිහැඬියාව. ගෝඨාභය මුත්තා සහ මගේ පියරජතුමා මහත් වැර වෑයමෙන් එක්‌සත් කළ දකුණත් බෙදී තිබීමේ නිහඬ සතුටද මේ.....?"

අනතුරුව ඔහු තම දුක්‌බර හඬ වෙනස්‌ කළේය. රාජ සභාව තැතිගන්වන උස්‌ හඬකින් යුතුව මෙසේ කීවේය.

".......මතක තබාගන්න. මේ දැනෙන්නේ කිඹුලා ගොදුර වෙත පිහිනා යැමේදී දැනෙන නිහඬකම බව. කොටියා ගොදුරවෙත පනින්නට පෙර බිහිකරන නිහඬකම බව. ආක්‍රමණිකයාගෙන් ණයට ගත් ධෛර්යයෙන් තිස්‌ස මට අභියෝග කරනවා. එතැනදී නිහඬවෙන්නැයි ඔබ මට කියනවා........"

"...........කුල දේවතාවුන් නිහඬයි!... අමාත්‍යවරුන් නිහඬයි !........"

රජ්ජුරුවෝ අන්තිමේදී තම දස මහා සෙනෙවියන් දෙසට දඹරඟිල්ල දිගුකළහ.

"ඔබත් නිහඬයි !"

සෙනෙවිවරු එකිනෙකාගේ මුහුණට මුහුණ බලාගත්හ.

මිටි වී ඉපදීම මහත් වාසනාවකැයි කල්පනා කළ ගොඨයිම්බර උස සෙනෙවිවරුන් අතර සැඟවෙනු පිණිස තව තවත් හැකිලී සිටීමට උත්සාහ කළේය.

වේළුසුමනයෝ සියලු සෙනෙවිවරුන් වෙනුවෙන් පිළිවදන්දීමට ඉදිරිපත් වූහ.

"තරහ අවසර, අප ප්‍රතිඥාවක්‌දී තිබෙනවා ඔබ වහන්සේත් තිස්‌ස කුමාරයාත් අතර සටනකට මැදිහත් නොවන්න....."

"මා මට ප්‍රතිඥාවක්‌ දී තිබෙනවා රට මුදාගන්න......."

දෙවනපිය ගාමණී අබය රජ්ජුරුවෝ ගුගුළහ.

".............ඊට බාධාවන ඕනෑම දෙයක්‌ ඉවත්කරන්න,....... අමාත්‍ය තිස්‌ස !"

ගාමණී අබය රජුගේ රාජාභිෂේකයෙන් පසු අමාත්‍ය පදවිය ලැබූ තරුණ නව අමාත්‍යවරයා ඉදිරියට පැමිණ රජුට ආචාර කළේය.

"මේ දස මහ සෙනෙවිවරුන්ගේ සේනාංක හැර අනෙකුත් සේනාංක?"

"සියල්ල සූදානම් මාගේ දේවයින"

සෙනෙවිවරු තම බිමට බරවූ හිස්‌ නොඔසොවාම සිටියහ.

එහෙත් එක හිසක්‌ පමණක්‌ එසවිණි. ඒ නන්දිමිත්‍රගේය.

"දේවයන් වහන්ස............!"

"නන්දිමිත්‍ර මා නොවළක්‌වනු........!"


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆


වර්ෂ 2010 ජූනි මස විසි වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය විසිදෙවන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි හත් වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a Comment