Tuesday, 27 December 2016

23 කොටස - භික්‍ෂූන්...! භික්‍ෂූන්...!! භික්‍ෂූන්...!!!

"නන්දිමිත්‍ර! ප්‍රතිඥාවන් සහ ප්‍රතිපත්ති සුරැකීම විශිෂ්ට ක්‍රියාවකි. එහෙත්, පර්වතය ඔබ හිස මත කඩා වැටෙන්නට යන විට නොකඩවා අහස දෙස බලා සිටීමට ඔබ දුන් ප්‍රතිඥාව, එම ප්‍රතිඥාව සුරැකීම සඳහාම වුව මඳක්‌ වෙනස්‌කර ගැනීමට ඔබට සිතෙයි නම් ඔබ ප්‍රඥාවන්තයෙකි. ඇද වැටෙන පර්වතය මඟහැර එය ඇද වැටුණු පසු ඒ මත නැගී නොකඩවා අහස දෙස බලා සිටීමෙන් ඔබත් ප්‍රතිඥාවක්‌ යන දෙකම සුරැකෙයි......."

ගාමණී අබය මහ රජුගේ වදන්වල සාවඥ විලාශයක්‌ නොවීය. එහෙත්, ඔහුගේ මුහුණේ වූ ඉංගිතයක පමණක්‌ සියුම් සාවඥ බවක්‌ රැඳී තිබිණ. තම හිස්‌ නොඔසොවාම සිටි හෙයින් නන්දිමිත්‍ර ඇතුළු කිසිවෙක්‌ ඒ බව නොදුටහ.

අවසාන වශයෙන් රජු මෙසේ කීවේය.

"............ප්‍රතිඥා සහ ප්‍රතිපත්ති සුරකින්නන් කෙරෙහි මා තුළ පවත්නා ගෞරවය මම නැවත ද ඔබ සියල්ලන්ට පුද කරමි. ඒවා විශිෂ්ට ක්‍රියාවන් බව මම නැවත නැවත ද කියමි. එහෙත් කවර විශිෂ්ට දෙයකට මුවාවී හෝ මේ රට අනතුරේ වැටෙනු බලාසිටින්නට මට නොහැකිය."

"රට මුදා ගැනීම නමැති බිහිසුණු නර්තනයේ මුල පටන්ම මා සමඟ යෙදුණු ඔබට දැන් ඉන් බැහැර වී ප්‍රේක්‌ෂකයන් බවට පත්වීමේ අවස්‌ථාව උදාවී තිබේ. මට ඔබට කීමට ඇත්තේ එසේ නම්, සියල්ල හොඳින් නරඹනු යන්න පමණෙකි......."

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

චූලංගනී පිටිය වූ කලී මහා විශාල භූමියකි. මේ මහා විශාල මුඩු බිමේ තැන තැන හටගත් කුඩා පඳුරු හැර තැන තැනවත් හටගත් මහ ගසක්‌ දෙකක්‌ හෝ නැත.

එහෙත්, ඒ හරහා නිරතුරුව හමායන මහා විශාල සුළඟක්‌ ද ඒ සමඟ පෙමින් වෙළුණු මහා දූවිල්ලක්‌ද වෙයි.

මේ දූවිල්ල කිසිදු පැකිලීමකින් තොරව අවුස්‌සමින්ද, මුළු චූලංගනී පිටිය යම් කම්පනයකට, දෙදරීමකට පත්කරමින්ද පිටියේ එක්‌ අන්තයකින් සන්නද්ධ මිනිසුන් නංවාගත් අශ්වයෝ මතුව ආහ.

ඔවුන් පිටුපසින් සන්නද්ධ මිනිසුන් නංවාගත් අලි ඇතුන් මතුව ආහ. අලි මදිවාට මහත් මිනිස්‌ බලඇණියක්‌ ද ඒ පිටුපසින් විය.

හරියටම පිටියේ අනෙක්‌ අන්තයෙන් එබඳුම වූ තවත් කණ්‌ඩායමක්‌ ද මතුවිණි. පෙර කණ්‌ඩායමටත් වඩා මහා පිරිසක්‌ වූ ඔවුන් අතර කඩොල් ඇතු පිට නැගුණු තිස්‌ස කුමාරයා ද සිටියේය.

තිස්‌ස අමාත්‍යවරයා ඇතුළු සන්නද්ධ සෙනෙවිවරුන් පිරිවරාගත් ගාමණී අබය මහරජ්ජුරුවෝ දීඝථුනිකා වෙළඹ පිට නැගී සිටියහ.

උරස්‌ත්‍රාණයකින් හෙවත් පපු පෙදෙස ආරක්‍ෂා කෙරෙන ලෝහමය සන්නාහයකින් සැරසී සිටි එතුමන් අත තරමක්‌ දිග තෝමරයක්‌ විය.

රණ ධරණිය ගිගුම් දෙවන මහා රණ රංග ඝෝෂා නඟමින් සිටින තම මහා සෙබළමුල අමතමින් තිස්‌ස මෙසේ කීවේය.

"අපට ජය ඒකාන්තයි කොල්ලනේ. ඉදිරියට යනු මිස යළි පසුපසට එනු බැහැ........"

සේනාව එය පිළිපදින බව සපථ කරමින් මෙන් කඩු හෙලි තෝමර ඔසොවා මහා ඝෝෂාවක්‌ නැඟූහ.

"නුඹලා සිහි තබා ගත යුතුයි, අපේ යැයි කියා කිසිවකුත් සතුරා අතර නැහැ. සතුරා සතුරාමයි. ඔහුට හිමිවන්නේ මරණය පමණයි. අනුකම්පාවක්‌ නෑ..........."

"අනුකම්පාවක්‌ නෑ"

සේනාවද මහත් ඝෝෂාවකින් එය ප්‍රතිරාවය කළහ.

ඈතින් පෙනන තම මළණුවන්ගේ ඝෝෂාකාරී සේනාව දෙස බලමින්ද, මොහොතින් මොහොත නොසන්සුන් තම සේනාව දෙස බලමින්ද මඳවේලාවක්‌ ගත කළ ගාමණි අබය රජු මෙසේ කීවේය.

"කිසිවකුත් තිස්‌ස කුමරුවා මරා දැමිය නොයුතුයි. ඔහු අත්අඩංගුවට ගන්නවා පමණයි"

"එසේයි"

සේනාව ඝෝෂා නැඟූහ.

ඝෝෂාවම විනා තවම ඉදිරියට යැම සඳහා දෙපාර්ශ්වයේ කිනම් පාර්ශ්වයකින් හෝ තවම අණක්‌ නිකුත් වී නොතිබිණි.

ඒ වෙනුවට, ගාමණි අබය රජුගේ අණ පරිදි අමාත්‍ය තිස්‌ස තම අසුපිටින් චූලංගනී පිටිය හරහා තිස්‌ස කුමරුන්ගේ සේනාව සිටින ප්‍රදේශයට යමින් සිටියේය.

ගාමණී අබය පාර්ශ්වයේ සිට පැමිණෙන සන්නද්ධ අසරුවා තමන් වෙත ළංවන ප්‍රමාණයට සාපේක්‍ෂව තිස්‌ස කුමරුන්ගේ සේනාවේ ඝෝෂාව ද වියැකී යමින් තිබුණේය.

මුල් අශ්වාරෝහක බලඇණියේ හරි මැද කඩොල් ඇතු මත නැගී සිටින තිස්‌ස කුමරුන් වෙත සෘජුවම මෙන් පැමිණෙමින් සිටි අමාත්‍ය තිස්‌ස බඹ කිහිපයක පරතරයක්‌ තබා නතර විය.

තිස්‌ස කුමරුගේ අණ පරිදි ඔහු සෙනෙවි උත්මීය තම අසු මෙහෙයවමින් ගාමණී පාර්ශ්වයෙන් පැමිණි තිස්‌ස අමාත්‍යවරයා වෙතට ගියේය.

"වහාම යටත් වන ලෙස දෙවන පිය ගාමණී අබය මහ රජ්ජුරුවන් වහන්සේ නුඹලාට අවසන් වශයෙන් නිවේදනය කර සිටින්නෝය. තිස්‌ස කුමාරයාණන් වහන්සේගේ භාරවීම පමණක්‌ අපට සෑහෙයි. වෙන කිසිවකුත් අපට භාරවිය යුතු නැත........"

උත්මීය දක්‌ෂ නළුවෙක්‌ නොවේ. එහෙත්, කලින් උගන්වා ඇති පරිදි ඔහු ප්‍රථමයෙන් ව්‍යාජ ලෙස කොක්‌ හඬලා සිනාසුණේය. අනතුරුව වෘත්තීය සොල්දාදුවකුට නොගැලපෙන ග්‍රාම්‍ය හඬකින් මෙසේ කීවේය.

"අනේ යකෝ බොට ගිය කල........."

අමාත්‍ය තිස්‌ස තම රාජකාරීමය සහ වෘත්තීමය වූ විලාශයෙන් මඳකුදු බැහැර නොවී උත්මීය දෙසම බලාසිටියේය.

"මේ ඊයේ පෙරේදා ඇමැතිකමක්‌ ගත්තට තා හිතුවද තා හරිම කෙරුමෙක්‌ කියලා"

".............මගේ මාදිනීව මගෙන් කඩාගත්ත බල්ලා"

අමාත්‍ය තිස්‌සට තවත් නිහඬව සිටිනු නොහැකි විය.

"මේක අපේ පුද්ගලික ප්‍රශ්න කතා කරන තැනක්‌ නොවෙයි උත්මීය. මේක යුද්ධයක්‌ කෙරෙන තැනක්‌, ඒ නිසා......."

ඔහු තම වාක්‍ය අවසන් කරන්නට කලින් උත්මීය කඩා පැන්නේය.

"පුද්ගලික ප්‍රශ්න විසඳගන්නත් හොඳම තැනක්‌ තමයි බොල යුද්ධය"

බලාපොරොත්තු නොවූ උභතෝකෝටිකයකට මුහුණ පෑ අමාත්‍ය තිස්‌ස සුස්‌මක්‌ හෙලා උඩබිම බලන අතරේ උත්මීය කඩු කොපුවෙන් කඩුව ඉවතට ඇද්දේය.

එකෙණෙහිම, නිරායාශයෙන්ම තිස්‌ස වෙතින්ද එවැන්නක්‌ කෙරිණි.

ඔවුන් කතාබහ කළදෑ කුමක්‌දැයි නොඇසුණ ද කඩු ඉවතට ඇදීම් වැනි ඔවුන්ගේ ක්‍රියාකාරකම් හොඳහැටි දුටු තිස්‌ස කුමරුගේ සේනාව වෙතින් මහ රණඝෝෂාවක්‌ පළ විය.

අසිපත යළිත් කොපුවේ නොලා ගනිමින්ම වේගයෙන් ආපසු හැරී එන අමාත්‍ය තිස්‌ස දුටු ගාමණි අබය රජ්ජුරුවෝ තම සේනාවට යුද්ධයට සූදානම් වන ලෙසට වූ අවසාන සංඥාව නිකුත් කළහ.

දෙගොල්ලෝම එකිනෙකාට පහරදීමේ උත්තේජනයකින් ඇළලී ගිය අතර, දෙපාර්ශ්වයේම යුද නායකයන් 'පහර දෙනු' යි නියෝග කිරීමට එක්‌වරම තම මුව විවෘත කළා පමණකි. දෙපාර්ශ්වය ඉදිරියේ තිබුණු මහා හිස්‌ බිම්කඩ මැදින් පැමිණෙන මහා කසාවත් පවුරක්‌ විසින් ඒ එකෙණිම වළක්‌වනු ලැබිණි.

රණ ඝෝෂාව ද, අසිපත්වලින් පළිස්‌වලට තට්‌ටුකරන හඬද ක්‍රමයෙන් වියැකී ගිය අතර යුද භූමිය හරහා සන්සුන්ව වඩින මහා සංඝයා වහන්සේ මෙතෙක්‌ කිසිවකුත් නොදුටු නොවිරූ දැක්‌මක්‌ විය.

මහාසිව මහා ස්‌ථවීර, ත්‍රිපිටකතිස්‌ස, ගෝධගත්ත තිස්‌ස වැනි මහ තෙරවරුන් පිරිවරාගෙන යුද භූමිය හරහා වැඩි මහා සංඝයා වහන්සේ දස දහසක පමණ පිරිසක්‌, හරියටම, යුද වැදීමට නියමිත දෙපිරිස මැදිකොට ඉදිවුණු මහා පවුරක්‌ මෙන් යුද භූමිය මධ්‍යයේ නොසැලී සිටියහ.

ප්‍රථමයෙන් තම වෙළඹ පිටින් බිමට බට ගාමණී අබය රජ්ජුරුවෝ හුන් තැනම සිට දණින් වැටී සංඝයා වහන්සේ නමස්‌කාර කළහ. මුළු සේනාවම ද ඔහු අනුකරණය කළෝය.

තිස්‌ස කුමරුන් සහ ඔහුගේ සේනාව විසින් ද එසේ කරනු ලැබිණි.

අනතුරුව චූලංගණී පිටිය තුළ රජ කළේ හමායන සුළඟේ ශබ්දයත්, චණ්‌ඩ අව්රශ්මියේ පීඩාවත් පමණෙකි.

භික්‌ෂූන් වහන්සේ මතු නොව සටන් වැදීමට නියමිත යුද කණ්‌ඩායම් ද්වය පවා චණ්‌ඩ අව් රස්‌නයෙන් පීඩා විඳිමින් සිටියේය.

එහෙත්, මේ කිසිවකුත් සිටි තැනින් සෙළවුණේ නැත.

කිසිවකුත් කිසිවෙක්‌ සමඟ කිසිවක්‌ කතා නොකළ අතර චණ්‌ඩ අව්රශ්මිය පමණක්‌ සියල්ලන්ටම මහ හඬින් යමක්‌ ප්‍රකාශ කරමින් සිටියේය.

ඒ, 'යුද නොවැදී ආපසු හැරී යව්' යනුවෙනි.

ඊට මුලින්ම ඇහුම්කන් දුන්නෝ ගාමණී අබය රජ්ජුරුවෝය.

යුද බිමේදී ආපසුහැරීම කෙතරම් අවදානම් කටයුත්තක්‌ ද යන්න දැන සිටියත් ගාමණී අබය රජ්ජුරුවෝ ආපසු හැරුණහ.

තිස්‌ස කුමරු ද, ඔහුට අනුව ඔහුගේ සේනාව ද, ආපසු හරුණහ.

භික්‍ෂූන් වහන්සේ ද සුපුරුදු පදසාගමනින් ආපසු වැඩියහ.

"තිස්‌ස මළණ්‌ඩිට මේ තරම් හමුදාවක්‌ කොහින්ද?"

නොකෙරුණු යුද්ධය පිළිබඳ කල්පනාවෙන් යුතුව ආපසු පැමිණෙන ගාමණී අබය, තිස්‌සගේ පිරිස දුටු පමණින්ම තමා තුළ පහළ වූ සැකයක්‌ විදාරණය කරමින් තිස්‌ස අමාත්‍යයා විමසීය.

"ඔහුගේ පිරිස විශාලයි. ඇත්තෙන්ම මෙතරම් විශාල සේනාවක්‌ මා බලාපොරොත්තු වූයේද නැහැ......"

තිස්‌ස අමාත්‍යයා කීවේය.

"..............අනෙක ඔවුන් අසලටම ගිය මොහොතේ මා දුටුවා ඔවුන්ගේ අශ්වාරෝහක සේනාංකය, ඒ තරම් වෘත්තීය මට්‌ටමක්‌ ප්‍රදර්ශනය කළ අශ්ව සේනාංකයක්‌ තිස්‌ස කුමාරයාට කවදාවත් සිටියේ නැහැ.........." 

අමාත්‍ය තිස්‌ස තවදුරටත් කියා සිටියේ ඔහුට හදිසියේ සිහිපත්වූ තවත් යමක්‌ එළියට දමමිනි. එසේ කිරීම නිසාම ඔහුගේ මතකය විසින් තවත් බොහෝ දේ ඔහු දිවගට ගෙනෙනු ලැබිණි.

"මා දන්නවා තිස්‌ස කුමරුන්ගේ සෙනෙවියා උත්මීයව. ඔහු සෙනෙවියෙක්‌ නොවෙයි, අර භද්‍රවත් බිල්ව කියන බමුණාගේ ආරක්‍ෂකයෙක්‌. කාවන්තිස්‌ස රජතුමාගේ නියෝගය පරිදි මා තිස්‌ස කුමරු යටතේ දීඝවාපියේ සේවය කරන කාලයේ ඔහු ළඟින් ඇසුරු කළා..........."

ගාමණී අබය, තිස්‌ස අමාත්‍යයාට තවත් දොඩමළුවන්නට ඉඩදී නිහඬවම ගමන් කළේය.

"භද්‍රවත් බිල්ව වගේම ඔහු පැමිණියේ ද රජරට සිටයි. ඔහු පසුව භද්‍රවත් බිල්ව හරහා තිස්‌ස කුමාරයාට බොහෝම ළං වුණාම මා හිතුවේ ඔහු හදන්නේ කේලාම් කියා මා සමඟ තිස්‌ස කුමාරයා අමනාප කරවන්න කියලයි....."

"ඉතිං එහෙම අමනාප කරන එකේ තියෙන ප්‍රයෝජනය මොකක්‌ද?"

"අප දෙදෙනාම ප්‍රේම කළේ එකම කුමාරිකාවකට........"

මුළුමනින්ම රතුපැහැ ගැන්වුණු තම යොවුන් මුහුණ පහතට නැඹුරු කර ගනිමින් තිස්‌ස කීවේය.

"..............තිස්‌ස කුමරුන් ලවා මා දිඝවාපියෙන් එළවා දැම්මොත් මාදිනීව අත්පත් කරගන්න පුළුවන් යැයි උත්මීය හිතන්න ඇති........"

තිස්‌ස යළිත් කීවේය.

"ඊර්ෂ්‍යාවෙන් පිරිලා තිබුණත් ප්‍රේම කතා බොහොම රසවත්. මං දන්නවා ඒක............"

ගාමණී අබය රජ්ජුරුවෝ තම මුහුණ ද ප්‍රේමනීය සිනහවකින් සරසා ගනිමින් කීවෝය.

"..............ඒත් මට දැනගන්න වුවමනා නුඹ මොකක්‌ද මේකෙන් කියන්න හදන යුද තොරතුර? දේශපාලන තොරතුර?"

"......මට මේ බමුණාවයි, ඔහුගේ ගෝලයාවයි දැන් සැකයි රජතුමනි. තිස්‌ස කුමාරයා ළඟට මේ හදිසියේ අශ්වාරෝහක හමුදාවක්‌ ගෙනාවේ ඔවුන් වෙන්න බැරිද?"

"කොහෙන්ද?"

"මා එය හරියටම දන්නේ නැහැ. නමුත් මයියංගනයේ පටන් අනුරාධපුරය දක්‌වා තිබෙන එළාරගේ ඕනෑම බළකොටු නගරයක පුහුණු කළ අශ්වාරෝහක සේනාංක තිබෙනවා. ඔවුන් පැමිණියේ මහා කොට්‌ඨයාගේ අන්තර් සොබ්බ බලකොටුවෙන් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් කුම්බයාගේ කුම්බගාම බලකොටුවෙන් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඛානුගේ ඛානුගාම බලකොටුවෙන් වෙන්න පුළුවන්..........."

"...............ඇති"

රජ්ජුරුවෝ අමාත්‍යයා නැවැත්වූහ.

ඒ වන විට ඔහු තම වෙළඹ ද නවත්වාගෙන සිටියේය.

"මුළු සේනාංකයම ආපසු හරවනු"

වැඩිවේලාවක්‌ ගතවීමට පෙර කාර්යශූර අමාත්‍යවරයා විසින් මුළු සෙබළු බළමුළුවම ආපසු හරවා සීරුවෙන් තබනු ලැබිණි.

"සමහර සත්‍යයන් තරමක්‌ පහුවෙලා අවබෝධවන එක හොඳයි..."

ගාමණී අබය කීවේය.

"අප මුහුණ දෙන්නේ අපට වඩා බලවත් සේනාවකට බව සැබැයි. නමුත් දැන් එය පහර කා දුවන සේනාවක්‌ වන බව සිකුරුයි"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

(ටොලමිගේ පැරණි තැප්‍රොබේන සිතියමට සමාන) විශාල මැටි ආකෘතික සිතියමෙන් සිහලද්වීපය පිළිබිඹු කෙරිණි.

එහෙත්, බිම තබා ඇති එය වටා සිටගෙන සිටින භට්‌ටාර, දීඝාභය, මිත්‍ර, දීඝජන්තු ඇතුළු රජරට යුද මණ්‌ඩලයේ අවධානය එක පැහැර යොමුව තිබෙන්නේ මාගම රාජධානි ප්‍රදේශය වෙතය.

චරපුරුෂයන් මාර්ගයෙන් හීපොල වලින්ද, පරෙවියන්ගෙන්ද ලැබෙන රහස්‌ හදිසි පණිවිඩ විශ්ලේෂණය කරන්නෝ කිහිප දෙනෙක්‌ම යුහුසුහුව තම කාර්යයේ යෙදී සිටිති.

එසේ ලැබුණු සහ විශ්ලේෂණය කෙරුණු පණිවිඩයකින් භට්‌ටාර කෝපයට පත්ව සිටියේය.

"..........මේ භික්‍ෂූන් සමඟ කිසිවක්‌ කරන්න බැහැ. ඔවුන් අපේ පිඹුරුපත් අවුල් කරනවා. යසරඟට ඇවිලෙන්නට ගිය දකුණේ යුද්ධයට ඔවුන් පිරිත් පැන් ඉහලා.........."

"සටන සිදුවුණා නම් අශ්වාරෝහක සේනාංකයේ ඉන්න අපේ කණ්‌ඩායමට ගාමණී අබයගේ මරණ මංගල්‍යය ඉක්‌මන් කරවන්න තිබුණා"

දීඝජන්තු නොසන්සුන්ව ඇවිදිමින් කීවේය.

"භික්‍ෂූන්.., භික්‍ෂූන්..., භික්‍ෂූන්........" 

භට්‌ටාර කෑගැසුවේය.

"තිස්‌ස කුමරුවා බලයට පැමිණි විගස මොවුන් පන්නා දමා ශාසන ශෝධනයක්‌ සිදුකළ යුතුයි......"

ඒ සමඟම යුද මන්ත්‍රණ ශාලාවේ මහ දොර විවර විණි.

එළාර රජ්ජුරුවෝ සන්සුන් ගමනින් පැමිණියහ.

"කිමෙක්‌ද මේ ?"

ඔහු අවුල්වී සිටි සහ බලාපොරොත්තු කඩවී සිටි සියල්ලන් සිසාරා බලමින් ප්‍රශ්න කළේය.

"..............නෑ මං අහන්නෙ දෙබෑයන්ගේ යුද්ධය වළක්‌වන්න දකුණේ භික්‍ෂූන්ට තිබෙන රුදාව මොකක්‌ද?"

"ඔබලා තවම සාකච්ඡා කරන්නේ පිළුණු තොරතුරු........."

එළාර කෝපයෙන් යුතුව කීවේය.

"........අළුත්ම තත්ත්වය ඊට වෙනස්‌ !"

සෘජුවම එළාර රජුට ඔත්තු පණිවිඩ සපයන විශේෂ චරපුරුෂ සේවාවකට අයත් පරෙවියන් මාර්ගයෙන් ලැබුණේ යැයි සිතිය හැකි පණිවිඩයක්‌ එළාර රජු සුරතේ තිබිණි.

සියල්ලෝම එය කියවා ගැනීමට නොඉවසිලිමත් වූහ.

"දුෂ්ට ගාමණී ආපසුහැරී විත් පහර දෙනවා. නුඹලාගේ අශ්වාරෝහක සේනාංකය විනාශයි. තිස්‌ස සැඟවෙන තැන් සොයා පළා යනවා !"

"ආපසුහැරී පහරදීම ඔහු තුළ තිබෙන ඉතාම නරක පුරුද්දක්‌ !"

භට්‌ටාර කොඳුරමින් කීවද එය එළාර රජුට ඇසුණේය.

"මෝඩකමට බියගුළුකම මිශ්‍ර නොකරනු!"

එළාර රජු කීවේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 ජූනි මස විසි හත්වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය විසි තුන්වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි හත්වන දින පූජිත විසින් සටහන් කරන වගයි...


No comments:

Post a Comment