Wednesday 28 December 2016

28 කොටස - සිනාසිසී පැමිණ යටත්වෙනු

දාඨාසේන සෙනෙවියකු නොවේ, එසේ වීමට අවශ්‍ය හැම සුදුසුකමක්‌ම ඔහුට නොතිබුණේ ද නොවේ.

එහෙත්, රණෝන්මාදියකු, පාලනය කළ නොහැකි පුද්ගලයකු වශයෙන් ඔහු පිළිබඳව පැවති හැඳිනීම හැමවිටම ඔහු සෙනෙවියකු බවට පත්කිරීමෙන් වළකනු ලැබිණි.

ඉතා කුඩා කණ්‌ඩායම්වලින් සමන්විත නන්දිමිත්‍රගේ විශේෂ දුර්ගම සංග්‍රාමික කණ්‌ඩායම් පුහුණුවට ඔහු යොමුකරන ලද්දේ සෙනෙවි ලභිය වසභ විසිනි.

හිතුවක්‌කාර ප්‍රචණ්‌ඩ මිනිසා ඔහු ප්‍රකට කළ අසාමාන්‍ය දක්‌ෂතා නිසාම නන්දිමිත්‍ර මහ සෙනෙවිගේ විශේෂ අවධානයටත් සැලකිල්ලටත් යොමු විය. අවසානයේදී ඔහු බිහිසුණුවූත් අතිශූරවූත් කුඩා කණ්‌ඩායම් පහක නායකයා බවට පත්කෙරිණි.

ගඟෙන් එතෙරට රහසේ පිහිනා ගිය දාඨාසේනගේ කණ්‌ඩායම් පහෙන් හතරක්‌ වත් සතුරනට මැදිවී මාරාන්තික සටනක නියෑලී සිටින අතර, මහනෙල නමැනි උප සෙනෙවියා ප්‍රධාන කොටගත් ඊළඟ සතරේ කණ්‌ඩායම් පහ ඡත්ථගේ බල මාළිගය පිහිටි බලකොටුව ආසන්නයට රහසේ ළඟාවී සිටියහ.

අසමාන සටනක්‌ වූ බැවින් හිස්‌ ගොඩනැගිල්ලට වැදුණු දාඨාසේනගේ රාක්‌ෂස අංගම් කරුවෝ ඡත්ථගේ සෙබළුන්ගේ ප්‍රහාරවලින් ඉක්‌මනින්ම මරු දුටහ. එහෙත්, කවුරුත් විශ්මයට පත්කරවමින් රණෝන්මාදියා තවමත් තනිවම සටන් කළේය.

දුනුවායන් තම වමතට යොදන ගෝධාව නමැති පළිහෙන්ද සතුරන්ගෙන්ම උදුරාගන්නා ලද කෙටි කඩුවකින්ද සන්නද්ධව සිටි හේ හිස්‌ ගොඩනැගිල්ලේ බරාඳය පුරා තමන් සමඟ සටන් කළ බොහෝ සතුරන් බාවා සිටියේය.

එහෙත්, සතුරු කණ්‌ඩායම් නැවත නැවත පැමිණියහ.

හරිහර නමැති චෝල සෙනෙවියාගේ සෙබළුන්වූ ඔවුන් විසින් දාඨාසේන අල්ලාගනු ලැබුයේ ගෝධාවත් අහිමිව කෙටි කඩුවත් සුනු විසුණුව දාඨාසේන සතුරනට නිරායුධව පහර දෙමින් සිටියදීය.

සතුරන් විසින් ජීවග්‍රහයෙන් ගනු ලැබූ ඔහු දරුණු පහර කෑම්වලට ද ලක්‌ව පිටිතලහයා බඳින ලද අතරේ උලමකු මෙන් කෑගැසුවේය.

එය ශ්‍රවණය කළ කුඩා වන රොදක සැඟවී සිටි අයකු විසින් අලියකුගේ කුංචනාදයක්‌ නඟනු ලැබිණි.

එය ශ්‍රවණය කළ මහනෙලගේ කණ්‌ඩායම්වල සිටියෝ ඡත්ථගේ ආයුධ කම්හලට ගිනිතැබුවෝය.

කම්මාරයන් සතර අත පළාගිය අතර පුරාරක්‌ෂකයන් කිසිවක්‌ සිතා ගත නොහැකිව අතනට මෙතැනට දිවයන අතරේ නගරයේ ජනශූන්‍ය වෙළෙඳ ගබඩා ගිනි ගන්නට පටන් ගත්තේය.

අදෘෂ්‍යමාන ප්‍රහාරවලින් ඡත්ථගේ යුද සේනාංක ඒකමිතියට බරපතළ හානි සිදු නොවුන ද ඒ නිසා ඔහුගේ සමස්‌ත සෙබළෝම අනපේක්‌ෂිත තැති ගැන්මකට පත්ව සිටියහ.

තමන් අතරට රිංගා මේ පහරදීම් සිදුකරන්නේ ගාමණි අබය රජුගේ දුර්ගම සංග්‍රාමික කණ්‌ඩායම් විසින් වන බවට අවබෝධයක්‌ ඡත්ථගේ සෙනෙවිවරුනට තිබුණ ද ඔවුහු මේ මොහොතේ තමන්ගේ සැකයට භාජනව සිටි නාග ගෝත්‍රික දුනු සේනාංකය පිළිබඳව ඡත්ථට පැමිණිලි කළහ.

කෙතරම් යුද උපායෙහි විශාරදයකු වුවද ඡත්ථ වරදක්‌ කළේය.

ඔහු මේ කිසිවක්‌ නොදැන තද නින්දේ සිටි සිංහල ධනුර්ධ නායකයා නිදි පැදුරේදීම අත්අඩංගුවට ගත්තේය.

සැබෑ ගින්න ඇවිළුනේ ඉන්පසුවය.

කොහොමටත් පසුගිය දින කීපය මුළුල්ලේම තම චේර, පාණ්‌ඩ්‍ය, චෝළ සෙබළ සගයන්ගේ හැසිරීම් පිළිබඳව සැකයෙන් සිටි සිංහල ධනුර්ධයෝ නිදි පැදුරෙන්ම නැගිට ඔවුනට පහර දුන්හ.

ඡත්ථගේ සේනාවල බොහෝ අයගේ කෙතරම් වන්දනාවට හා නමස්‌කාරයට ලක්‌වී සිටිය ද සූර්ය දිව්‍යරාජයා ද අද ඔවුනට තවත් අවාසියක්‌ කළේය.

ඒ, වෙනදාටත් කලින් මහියංගන නගරයේ නැගෙනහිර පැත්තෙන් අහසට නැඟ කිසිවක්‌ නොදත්තකු මෙන් සියල්ල දෙස බලා සිටීමය.

ඒ වනවිටත් මාගම පහුරු සේනාංක නිරුපද්‍රිතව ඡත්ථගේ අනභිභවනීය මෙහා ඉවුරට ළඟා වී සිටියෝය.

තැනින් තැනින් එල්ලවූ දුබල ඉඩංගණී ප්‍රහාර ස්‌වල්පයට ද, තැනින් තැනින් එල්ලවූ දුබල හීසර ප්‍රහාරයට ද සාර්ථකව මුහුණ දෙමින් භරණ, මහාසෝණ සහ ඵුස්‌සදේව සේනාංක විසින් මෙහා ඉවුර අල්ලා ගනු ලැබුවේය.

ඒ, එළාර රජරට රාජ්‍ය විචාරන්නට පටන්ගෙන එකුන් සාළිස්‌ වසරකට පසුවය.

ගාමණී අබය රජු ප්‍රධාන කොටගත් ථෙරපුත්ථාභය, ලභිය වසභ, කංචදේව යන සෙනෙවිවරුන්ගේ සේනාංක තවමත් මහවැලි ගඟ මෙහා ඉවුරේ සිටිය දී වේළුසුමන, නන්දිමිත්‍ර, සුරනිමල, ගෝඨයිම්බර ප්‍රධාන සේනාංක ද ඉක්‌මණින් එගොඩට ගියහ.

ඇසිපිය නොහෙළා එහා ඉවුර දෙස බලාසිටි රජ්ජුරුවෝ තමන් අසලට පැමිණි විහාර මහා දේවියට මෙසේ කීවෝය.

"මෑණියෙනි, ඉතා දීර්ඝ නින්දකට පසු ඔන්න අප අතපය දිගහැර අවදි වුණා......."

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මහියංගන බලකොටු නුවර ගාමණී අබය රජු යටතට පත්වූ ආරංචිය හිරු මුදුන්වන්නට ද පෙර අම්බතිත්ථය පුරා පැතිර ගියේය.

ඒ සමඟම අම්බතිත්ථය අතහැර ඛේම නුවර කරා යන මිනිසුන්ගෙන්, දුවිලි ඇවිස්‌සුණු දුඹුරු මහාමාර්ගය පිරීයන්නට විය.

බොහෝ මිනිස්‌සු තම හස්‌තසාර වස්‌තුව ද, ගෙනයා හැකි සතා සීපාවා ද ගෙන ඉදිරියට ගමන් කරන මහා ජන ගංගාවට එකතු වූහ. මේ බොහෝ දෙනා කළින් මහියංගනයෙන් පැමිණ සිටි අය වූවා සේම චෝළ, පාණ්‌ඩ්‍ය, චේර, කලභ්‍ර මිනිස්‌සු ද වූහ.

ගාමණී අබය යුද සේනා නගර අත්පත් කොටගතහොත් එහි සිටින සියලුම දක්‌ෂිණපථ ජනයා ඝාතනය කරනු ලබන්නේය වශයෙන් පැතිර තිබු ආරංචිය මීට ප්‍රධාන හේතුව විය.

සිංහලයන්ද ප්‍රදේශය හැර ගියේ යුද බිමක ජීවත්වීම අතිශය අවදානම් කටයුත්තක්‌ වූ නිසාය.

එහෙත් කිසිසේත්ම ප්‍රදේශය හැර නොගිය පිරිසක්‌ ද තැන තැන වූහ.

බහුතරයක්‌ සිංහල ජනතාව වූ මේ පිරිසේ පරමාර්ථය වූයේ ඉදිරියට ඇදෙන ගාමණී අබය සේනාංකවලට එකතුවීම විය.

"බලාගෙන හිටපියව් දුෂ්ට ගාමණී එනකං" 

තිත්ථම්බ ගේ සෙබළු ඒ මිනිසුනට බැණ වැදුණහ.

"අපට බණින එක වැරදියි....."

දවසක්‌ මිනිසෙක්‌ කීවේය.

"...........බණිනවානම් බණින්න ඕනෑ අපේ ඇඹේණියන්ට. මොකද දන්නවද, ඒ ගොල්ල තමයි කියන්නෙ මෙහේ නං වෙන්න ඇති යුද්ධයක්‌ නෑ, මෙහේදී අපට බලාගන්න පුළුවන් වෙන්නේ ධාවන තරගයක්‌ කියලා........"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ඒ කෙසේ වුවත් අම්බතිත්ථය එහි ඉතිරිව සිටි සිංහල ජනයා සිතූ තරම් ඉක්‌මනින් ජයගැනීමට ගාමණී අබය සේනාවන්ට හැකිවූයේ නැත.

අම්බතිත්ථ බලකොටු නගරය එක පසෙකින් මහවැලි ගඟෙන්ද අනෙක්‌ පසින් විශාල දිය අගලකින්ද සමන්විත වූ කදිම ආරක්‍ෂිත ප්‍රදේශයක්‌ විය.

වේළුසුමන, ගෝඨයිම්භර, සුරනිමල යන සෙනෙවිවරු මෙම දිය අගල වටලා සිටි අතර යළිත් ගංගාවෙන් ඉවතට ගිය නන්දිමිත්‍ර, භරණගේ සහ මහාසෝණගේ සේනා ද සමඟ ගඟ තරණය කරමින් අම්බතිත්ථයට ගොඩවීමට උත්සාහ කරමින් සිටියේය. එහෙත්, සති ගණනක්‌ම ගත වුව ද තමන් හුන් තැනින් අඟලක්‌වත් ඉදිරියට යැමට රුහුණු සේනාවන්ට හැකිවූයේ නැත.

සත්‍යවශයෙන්ම එළාර රජු පවා අම්බතිත්ථය භාර තිත්ථම්බයාගෙන් එවැනි වික්‍රමයක්‌ බලාපොරොත්තු වූයේ නැත.

රජු විසින්මත් 'අනංගයා' යනුවෙන් සෝපහාසයෙන් හඳුන්වනු ලැබූ තිත්ථම්බයා තමන් තුළ විහාර මහා දේවිය කෙරෙහි පවත්නා උමතු ආලය කිසිවිටෙක සැඟවූයේද නැත.

ඒ කරණ කොටගෙන තම සෙනෙවිවරුන්ගේ පවා සැඟවුණු අපහාස - උපහාසයනට ලක්‌ වූ තිත්ථම්බ ඒවා සැළවූ කල ඒ පිළිබඳව කෝප ගන්නවා වෙනුවට බලවත් සතුටකටම පත්වූයේය.

මේ ඇසූ භට්‌ටාර විසින් තිත්ථම්බ හඳුන්වන ලද්දේ 'ඌරා' යන අපකීර්තිමත් වදනිනි. එහෙත්, ඒ අපකීර්තියම තමන්ට කීර්තියක්‌ ගෙන එන්නේ යෑයි තිත්ථම්බ තම සගයනට ප්‍රකාශ කළේ සතුටිනි.

කුමන තතු යටතේ වුවත් මේ අසම්මත ප්‍රීතිමත් 'ඌරා' මාස තුනක පමණ කාලයක්‌ ඉක්‌ම යන තුරු ද සෙලවීමටවත් ගාමණී අබය සේනාවන්ට හැකිවූයේ නැත.

තිත්ථම්බයාගේ ප්‍රීතිය විජිතපුරය දක්‌වා ද එතැනින් අනුරාධපුරය දක්‌වා ද විහිදී යමින් ඔහු පිළිබඳ සැබෑ කීර්තියක්‌ සතුරු - මිතුරු දෙපක්‍ෂය තුළම ලියලමින්ද තිබුණේය.

තිත්ථම්බයා නිදාසිටින විට පවා සිනාසෙමින් සිටින්නේ යෑයි මිනිස්‌සු කීහ.

එහෙත්, කාල වර්ණ මිටි මිනිසෙක්‌ අම්බතිත්ථය වටලා හරියටම හාර මසකට පසුව උදාවූ එක්‌තරා දිනෙක තිත්ථම්බයාගේ රාත්‍රි සිනහව පමණක්‌ නොව දිවා කාලයේ සිනහව ද අතුරුදන් කොට දැමුවේය.

ඔහු වූ කලි සෙනෙවි ගෝඨයිම්බර ය.

තමන් සේම, අම්බතිත්ථ දිය අගල වටලා සිටි වේළුසුමන, සුරනිමල සෙනෙවි සගයන් සමඟ ද නිතරම නොරිස්‌සුම් ලීලාවෙන් බැණ අඬ ගසාගත් ගෝඨයිම්බරයෝ එක්‌ හිමිදිරි උදෑසනක තම සේනාංකය වෙත එල්ලවන මහා හී වරුසාව නොතකා දිය අගල තරණය කළහ. පුදුමයකට මෙන් මෙහිදී ගොඨයිම්බර බලාපොරොත්තු වු හානිය සිදුවූයේ ද නැත.

ඊට හේතුව නම් මහා දුනු සේනාංකයක්‌ බවට තිත්ථම්බ විසින් පරිවර්තනය කොට මවා පෙන්වා තිබුණේ ඔහුගේ අසිග්ගාහක සේනාංකයම වීමය. නැගෙනහිරින් පහර දෙන නන්දිමිත්‍රගේ සේනාවට මුහුණ දෙනු පිණිස ඔහු තම අසිපත් හමුදාවේ වැඩිපිරිසක්‌ මහවැලි ගං ඉවුර අසලට යොදවා තිබුණේය.

අසිග්ගාහකයෝ හැම විටම හොඳ ධනුර්ධයෝ නොවූහ.

වේගවත් මුල් හීසර ප්‍රහාර වර්ෂාවලින් පසුව ඔවුහු ඇදහිය නොහැකි ලෙස පමාවන්නෝ වූහ.

නොදැන සිටි රහසක්‌ පිළිබඳව නොදැනම සිදුකෙරුණු හිතුවක්‌කාර කඩා පැනීමෙන් ජය ගත් ගෝඨයිම්බරගේ සේනාංකය හමුවේ චෝළයෝ අවි බිම දමා පළාගොස්‌ බලකොටුව තුළට වැදුණහ.

සිංහලයෝ ද ඇතැම් පාණ්‌ඩ්‍ය සෙබළු ද නොපමාවම යටත් වූහ.

අන්තිමේදී මාගමින් පැමිණි මහා සේනාංක රැසක්‌ විසින්, කෙතරම් ශක්‌තිමත් මුත් ඉතා අසරණ ලෙස පෙනුණු අම්බතිත්ථ බලකොටුව වටලනු ලැබ තිබිණි.

කඩොල් ඇතු පෙරටුකොට ගත් ඇත් සේනාංකය ද, ලභියවසභ පෙරටුකොටගත් ගස්‌ කොටන් සේනාංකය ද බලකොටුවේ ප්‍රාකාර සහ දොරටු එකවර බිඳ දැමීමට ඉතා ආසන්නව සිටියහ.

වීරයා වු ගෝඨයිම්බර හීයක ඇමීණූ කඩපතක්‌ බළකොටුව තුළට යෑව්වේය.

එහි මෙසේ සඳහන් විය.

"හඬ හඬා පැමිණියහොත් මරණය,

සිනාසිසී පැමිණ යටත් වෙනු"

බලකොටුව තුළින්ද කඩපතක්‌ පැමිණියේය.

"මම සිංහල හමුදාවේ කිසිදු සෙනෙවියකුට යටත් නොවෙමි. 

විහාර මහා දේවීන්වහන්සේ ඉදිරියේ පමණක්‌ යටත්වීමට කැමැත්තෙමි. 

එසේ නැතහොත් බළකොටුව තුළම දිවිතොරකර ගනිමි........"

පරාජය ද, භීතිය ද, හාස්‍යය ද එක ලෙස කැටිකොටගත් ඒ පුදුම පිළිතුර ඊළඟ මොහොතේ සෙනෙවි නන්දිමිත්‍ර විසින් ගාමණී අබය මහරජුට පිළිගන්වනු ලැබිණි.

රජ්ජුරුවෝ කොක්‌හඬලා සිනානොමසුණහ.

ඒ වෙනුවට මෙසේ කීවෝය.

"මේ උමතු මිනිසා නොමරනු. තමන් කැමති වස්‌තුවක්‌ රැගෙන බළකොටුවේ උතුරු දොරටුවෙන් ඔහුට පළායන්නට ඉඩහරිනු.........."

නන්දිමිත්‍ර ගෙනා නියෝගය ක්‍රියාත්මක කරවීම ස්‌වෙච්ඡාවෙන්ම භාරගත් ගෝඨයිම්බර, බළකොටුවේ උතුරු දොරටුව විවරවන මොහොතේ දත්මිටිකමින් එතැන රැක සිටියේය.

තම හස්‌තසාර වස්‌තුව වශයෙන් භාර්යාවන් දස දෙනෙකු පමණ පිරිවරාගත් තිත්ථම්බ තැති ගත් මුහුණෙන් යුතුව උතුරු දොරටුවෙන් එළියට පැමිණියේය.

"සිනාසිසී පල"

ගෝඨයිම්බර ගුගුළේය.

තිත්ථම්බයා ටික දුරක්‌ නොව තම ඊළඟ බළකොටුව වූ ඛේම නුවර දක්‌වා යනතුරුමද එසේ කළේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ඉන්පසු බලකොටු වැටෙන්නට පටන් ගත්තේ සුළි කුණාටුවලට හසුව දිරාගිය දැවැන්ත ගස්‌ වැටෙනා පරිද්දෙනි.

ඒවායේ ශබ්ද රජරට යුද මණ්‌ඩලයේ පපුවටම දැනිණි.

නාළි සොබ්බ දක්‌වා ගාමණී අබය රජුගේ සේනා පැමිණෙන බවට තමා ඔහේ පැවසූ අනාවැකිය සත්‍ය වෙමින් පැවතීම පිළිබඳව ආඩම්බර වන අතරම, එය යථාර්ථයක්‌ වීම පිළිබඳව බියට ද පත්ව සිටි භට්‌ටාර, නොසන්සුන්ව මාළිගයේ පහළ මාලයට දිව ආවේය.

එළාර රජු ඇතුළු සියල්ලෝම යුද මන්ත්‍රණ ශාලාව තුළ එක්‌රැස්‌වී සිටිය හ.

ගාමණී අබය ඉදිරියට පැමිණෙන මාර්ගය සහිත තම බළකොටු පිහිටි ස්‌ථාන දැක්‌වෙන මැටි පුවරුව වෙත සෙමෙන් තම සුරත ගෙන යන එළාර, එහි රඳවා තිබෙන කුඩා ඉරටු කොඩි අතරින්වු සයවැන්න ද ගලවා දැම්මේය.

සෙනෙවිවරු ඒ දෙස ශෝකයෙන් යුක්‌තව බලා සිටියහ.

"නාළික ගැන මම දන්නවා. නාළිසොබ්බයෙන් මෙහාට ගාමණී අබයගේ සේනාවන්ට පැමිණෙන්නට ඔහු ඉඩ තබන්නේ නැහැ......"

භට්‌ටාර පරාජිත සුසුම්වලින් පමණක්‌ පිරී තිබුණු නිශ්ශබ්දතාව බිඳ දමමින් කියා සිටියේය.

එළාර රජු භට්‌ටාර දෙසට හැරුණේය.

"ඊට වඩා මා බලාපොරොත්තු තැබුවා අන්තර් සොබ්බයට, එය වැටුණා. මහා කොට්‌ඨ මහා සෙනෙවියා මැරුණා....."

එළාර රජුගේ අතිශය හිතවන්තයකු වු මහා කොට්‌ඨ වූ කලී රජුගේ විශේෂ ඉල්ලීමක්‌ මත චෝළ මණ්‌ඩලයෙන් ගෙන්වාගනු ලැබූවෙකි. ඕනෑම මහා සංග්‍රාමයක නිපුණයකු වූ ඔහු කලක්‌ එළාර මෙන්ම අස්‌ නැවියකු ද විය.

තම සුමිතුරු සෙනෙවියාගේ වියෝව එළාරගේ සිත තදින් පාරා තිබිණි.

ඒ නිසා කිසිවෙක්‌ ඉන් එහාට යුද්ධය පිළිබඳව කතා කිරීමට උත්සාහ නොකළෝය. කඩපතක්‌ රැගත් විශේෂ චරපුරුෂයා පැමිණියේ ඒ අතරය.

රජුට ආචාර කළ ඔහු පණිවිඩය නොකියා නිහඬව සිටියේය.

"කියනු......... මීළඟ පරාජය කුමක්‌ද ?"

"න්..........නාළි.........සො....."

"ගොත නොගසා කියනු" 

යෑයි මිත්‍රට රජු ඉදිරියේ වුවත් සැරෙන් කියෑවිණි.,

"නාළිසොබ්බ වැටුණා"

චරපුරුෂයා කීවේය.

"ලබ්බ"

භට්‌ටාරට කියෑවුණේ උසුලාගත නොහැකි කෝපයෙන් හා ලඡ්ජාවෙනි.

මිත්‍රටත් භට්‌ටාරත් ඊළඟ මොහොතේ තම අවිනීත හැසිරීම් පිළිබඳව රජු කමා කර ගැනීමට අවශ්‍ය විය.

එහෙත්, රජු ඒ කිසිවක්‌ නෑසූ ආකාරයෙන් සිටි හෙයින් එය පසුව පෞද්ගලිකව ඉටුකර ගැනීම මැනවැයි කල්පනා කළ ඔවුහු රජුගේ සුරත යළිත් මැටි පුවරුව වෙතට ගමන් ගන්නා ආකාරය දෙස බලා සිටියහ.

නාළිසොබ්බයට අදාළ ස්‌ථානයේ ඉරටු කොඩිය ගලවා දැමූ ඔහු ඉතාම සන්සුන් ස්‌වරයෙන් තම යුද මණ්‌ඩලයට මෙසේ කීවේය.

"මා සැතපෙන්නට යනවා, ඔබලාත් ගිහින් සැතපෙන්න"


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 අගෝස්තු මස පලමු වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය විසි අටවන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි අට වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a Comment