Wednesday, 28 December 2016

29 කොටස - කළුගලක්‌ ඇතුලට රිංගන්නේ කොහොමද?

එහෙත්, රජු හැර වෙනත් කිසිවෙක්‌ සැතපෙන්නට නොගිය හ.

"යුද උපක්‍රම, කෝපය, වේගය යන කාරණාවලින් අප සිටින්නේ දුෂ්ට ගාමණීට පසු පසින්........"

භට්‌ටාර කීවේය.

"ආත්ම ධෛර්ය හීනකම, පසු බැසීම් පරාජයන් සේ සැලකීම, පසු බැසීමේදී එකිනෙකාට දොස්‌ පවරාගැනීම යන කාරණාවලින් අප සිටින්නේ දුෂ්ට ගාමණීට ඉදිරියෙන්..........."

මිත්‍ර කීවේ කෝපයෙනි.

"අප පරාජයව ඇතැයි සිතන්නට අපට පිස්‌සුද..............?"

කෝපයට ප්‍රතිරෝධයක්‌ දක්‌වන්නට කිසිවකුත් නොසිටි හෙයින් මිත්‍ර එය තවත් දිග්ගස්‌සා ගත්තේය.

".............මේ කුමන අඳෝනාවක්‌ද, මූසල කමක්‌ද? තව බලසේනා කීයක්‌ නම් අප ඉදිරියේ තිබෙනවද? තව ශූර සෙන්පතියන් කී දෙනෙක්‌ නම් අප ඉදිරියේ සිටිනවද? තව බලකොටු කීයක්‌ නම් අප ඉදිරියේ තිබෙනවද?"

"තවම දිඝාභයගල්ල වැටුණේ නැහැ. එතන ඉන්නෙ අප වෙනුවෙන් පණ පුදන්න වුණත් කැමති දීඝාභය. ඊළඟට කපීසිය පාලනය කරන කසාතොට. ඊළඟට කෝටගේ කෝටනගරය. ඊට පස්‌සෙ හාලවහානවක. ඊළඟට වහිට්‌ඨගේ වහිට්‌ඨ නගරය. ඊළඟට අනෙක්‌ සිංහලයා ගාමණී ගේ ගාමණී ගාම, කුම්භයාගේ කුම්භගාම, නන්දිකගේ නන්දිගාම, ඛාණුගේ ඛාණුගාම, තම්බයාගෙයි උන්නයාගෙයි තඹගම, ජම්බුගේ ජම්බුගාම, ඇයි දෙවියගේ ඊළඟට මහා ගාමණී නුවර තිබෙනවා. විජිතපුරය තිබෙනවා. විජිතපුරය ජයගන්න දුෂ්ට ගාමණීලා දස දෙනෙක්‌ ආවත් හැකිද ?"

"ඊළඟට ගිරිලක නුවර තියෙනවා, නිවත්ත ගිරි නගරය තියෙනවා, ඊට පස්‌සේ මහේල නුවර, මේවායේ ඉන්න අපේ මහා හමුදා ගැන නුඹලාට විශ්වාසයක්‌ නැද්ද..?"

මිත්‍ර ආවේශ වූවකු මෙන් දෙඩූවදන් සියල්ලන්ට නව පණක්‌ දුන්නාසේම, තමන් අසරණව නැතැයි යන ප්‍රබල සිතිවිල්ලක්‌ ද සියල්ලන් තුළ ජනිත කළේය.

"මිත්‍ර කළ කථාව කදිමයි..."

භට්‌ටාර කීවේය.

"අවාසනාවට, යුද කිරීම කතා කිරීම තරම් පහසු නැහැ, එහෙත් පහසුවෙන් යුද කිරීමේ ක්‍රමත් තිබෙනවා..."

සියල්ලෝම අයාගත් මුවින් තම 'චාණක්‍යවරයා' දෙස බලා සිටියෝය. 

"සතුරා අපහසුවෙන් කරන දේ අප පහසුවෙන් කරන්න ඕනෑ.... ඔහු පහසුවෙන් කරන දේ අප තවත් පහසුවෙන් කරන්න ඕනෑ...."

"මොකක්‌ද දුෂ්ට ගාමණී අපහසුවෙන් කරන දේ ?"

මිත්‍ර පිළිවිසීය.

"වටහා ගනිව්, ඔහු කෙතරම් මෝඩයෙක්‌ද...?"

භට්‌ටාර තමා පොරවා සිටි ශ්වේත වර්ණ වස්‌ත්‍රය ඉක්‌මනින් ළිහිල් කොට යළිත් පොරවා ගත්තේය.

"ඔහු පළා යන්නන්ට එළව එළවා පහර දෙන්නේ නැහැ. යටත් වන්නන් මරා දමන්නේ නැහැ. අල්ලාගත් නගර කොල්ල කන්න දෙන්නේ නැහැ. ඔහු යටත් කළ නගරවල ස්‌ත්‍රීන් සෙබළුන්ගේ විනෝදය පිණිස යොදාගත නොහැකියි. දරුවන් වහලුන් කොටගත නොහැකියි. අහෝ උන්ගේ සෙබළුන්ට කවර විනෝදයක්‌ද?"

"ගාමණී අබය රජු යුද නීති ගරුකරනවා වැඩියි ...."

දීඝජන්තු කීවේය.

"එය ඔහුගේ අවාසනාව බවට පත්කරන්න අපට පුළුවන්....."

දීඝජන්තු ප්‍රකාශ කරන්නට ගිය ඉතිරිය වහාම සම්පූර්ණ කළේ මිත්‍රය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වැඩි වශයෙන්ම සිංහල සේනා රැගෙන එළාර වෙනුවෙන් සටන් වැදුණු සොහොයුරු දිඝාභය පරාජය කරන්නට ගාමණී අබය රජුට එතරම් අපහසු වූයේ නැත.

හිරු උදාවන විට ආරම්භ වූ සටන මධ්‍යාහනය වන විට මුළුමනින්ම අවසන්ව තිබුණේ ය.

හිරු අවරට යන මොහොත වන විට ගාමණී අබය රජ්ජුරුවෝ දිඝාභයගල්ල සටනට ප්‍රධානත්වය දුන් සෙනෙවි ථෙරපුත්තාභය සමඟ දිඝාභයගේ මන්දිරය ඉදිරියේ සිටගෙන සිටියේය.

සුළු පිරිසක්‌ සමග පළා ගිය දීඝාභයට එළවා පහර දීම ප්‍රතික්‌ෂේප කළ තම යුද නායකයා ඉදිරියේ ථෙරපුත්තාභය සීරුවෙන් සිට ගෙන සිටියේය.

කංචදේව, සුරනිමල වැනි අධාරක සේනාංකවලට ඉතිරිව තිබුණේ තුවාල ලැබූ සතුරු-මිතුරු දෙපක්‍ෂයේම සෙබළුන් ප්‍රතිකාර සඳහා රැගෙන යැමත්, විශාල ප්‍රමාණයේ සතුරු මළ සිරුරු වළ දැමීම පිණිස හෝ ආදාහනය පිණිස හෝ රැගෙන යැමත් යන කාර්යයයන් ඉටුකිරීමට පමණි.

"ඉක්‌මනින්ම ඔබ අපට ජයඅත්කොට දුන්නා.... ඉතින් සතුටුද?"

රජ්ජුරුවෝ බොහෝ වේලාවකට පසු කොහොමටත් නිහඬ, දැනුදු නිහඬ තම සෙන්පතියා විචාළෝය. 

"නැහැ"

ථෙරපුත්තාභය කීවේය.

රජ්ජුරුවෝ මවිතයට නොපත්හ. ඒ වෙනුවට කිසිවක්‌ම නොදොඩා නිහඬවම සිටියහ.

"ඔබ වහන්සේ තරම් යුද්ධයට අකමැති රජෙක්‌ මේ මිහිපිට ඇතැයි මා සිතන්නේ නැහැ...."

ථෙරපුත්තාභය තවත් බොහෝ වේලාවකට පසු කීවේ, සිදු නොවූ දිර්ඝ සංවාදයක හිස්‌ තැන පුරවන්නා සේය.

'ඔබ කොහොමද එය දන්නේ ?' යි ගාමණී අබය ඇසුවේ නැත.

"ඔබ ළඟ තිබේ නම් මට සැපීමට බුලත් කොළයක්‌ දෙන්න" 

යි ඔහු ථෙරපුත්තාභයට කීවේය.

වහාම තම ඉණ පැළඳි මඬිස්‌සලයෙන් බුලත් කොළයක්‌ තෝරාගත් ථෙරපුත්තාභය එය අප්‍රමාණ ගෞරවයෙන් යුතුව තම මහ රජුට පිළිගැන්වීය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ගාමණී අබය රජුගේ නියෝගය පරිදි ඔහුගේ සෙන්පතිවරුන් සියල්ලන් විසින්ම යුද පිටියේ පැවති යුද නීති සම්ප්‍රදායන් අකුරට ම පිළිපැද්දේ එයින් ලැබෙන විශේෂ වාසියක්‌ සලකා නොවේ.

එහෙත්, එයින් ලැබුණු අනපේක්‌ෂිත මහා වාසියක්‌ විය.

පළා නොගොස්‌ ඉතිරිවූ එළාරගේ යටත් ප්‍රදේශවල වැස්‌සන් මේ නිසා ගාමණී අබය රජු පිළිබඳව මහත් භක්‌තියක්‌ ද, ආදරයක්‌ ද ඇතිකර ගත්තෝය.

යුද්ධයක්‌ අවසානයේ මියගිය සතුරු - මිතුරු දෙපක්‍ෂයටම පින් පැමිණවීම උදෙසා කළ පුණ්‍ය කර්මයන් ඔවුන් ඉන් පෙර කිසි දිනෙක නොඇසූ විරූ විය.

ප්‍රීති උත්සවය ද ඕනෑ තරම් තිබිණි. ඒවායෙහි රා කළ ගෙඩි ද ඕනෑ තරම් හිස්‌ කෙරිණි. එහෙත්, සුරා බීවෝ ද, නොබීවෝ ද සතුටින් සිටියහ. සෙබළා සත්‍ය වශයෙන්ම ආදර්ශමත් වීරයකු වශයෙන් සලකන ලද අතර ඒ නිසාම ගාමණී අබය සේනාවන්ට ඒ ඒ ප්‍රදේශවලදී ස්‌වෙච්ඡාවෙන් එක්‌වූවෝ සිය දහස්‌ ගණනක්‌ සිටියහ.

භට්‌ටාර, මිත්‍ර, දීඝජන්තු ඇතුළු එළාර යුද මණ්‌ඩලයේ නව යුද උපක්‍රමය මේ සියල්ලට පූර්ණ ප්‍රතිපක්‌ෂ එකක්‌ විය.

සාමාන්‍යයෙන් මේ පැරණි යුද්ධවල එක්‌ සාමාන්‍ය සම්ප්‍රදායක්‌ වූයේ සෙබළා තම රාජ්‍යයට අනන්‍ය යුද සන්නාහයකින් හෝ යුද ඇඳුමකින් හෝ සැරසී සිටීම විය. එය දෙපාර්ශවයේම අනන්‍යතාව, අභිමානය මෙන්ම ආරක්‍ෂාව ද තහවුරු කළ කරුණක්‌ විය.

මහා ගාමණී නුවර සිදුවූ සටනේදී එළාර පාර්ශවය විසින් මේ යුද සම්ප්‍රදාය ඉතාම බිහිසුණු ලෙස උල්ලංඝනය කරනු ලැබිණි.

ඔවුහු මුළුමනින්ම පාහේ මාගම යුද සේනාවල යුද ඇඳුම්වලට සමාන යුද ඇඳුම්වලින් සැරසුණහ. එසේ කිරීම මගින්, සේනා මුහුණට මුහුණලා සටන් කිරීමේදී යුද්ධය තුළ මහත් අවුලක්‌ නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූහ.

ඉදිරියට ගිය සුරනිමලගේ සහ කංචදේවගේ සේනාවන් වහාම කලාඔය නිම්නයට පසු බස්‌සවන ලද අතර, නිර්මාණයව තිබු යුද අවුලට විකල්ප වශයෙන් ගාමණී අබය රජුගේම යෝජනාවක්‌ ක්‍රියාවට නඟනු ලැබිණි.

එනම්, ඊළඟ ප්‍රහාරය සඳහා යන නන්දිමිත්‍රගේ සහ වේළුසුමනගේ සේනාංකවල සෙබළු තමන් වහා හඳුනාගත හැකි ගිනිදැල් පැහැති රෙදිකඩක්‌ හිසේ හෝ බඳේ හෝ බැඳ ගැනීමය.

එසේ වුවද ඌරුවේලගාමය අසලින් මුහුදට වැටෙන කලා ඔයේ ආරම්භක කඳු වළල්ල අසල පිහිටි මහා ගාමණී ආරක්‌ෂිත නගරය අත්පත් කර ගැනීම ගාමණී අබය සේනාවන්ට අතිශය දුෂ්කර කටයුත්තක්‌ විය.

මහා ගාමණී නගරය යටත්වීමත් සමඟම එළාර සේනාවෝ තම අවසාන මහා බලාපොරොත්තුව වූ විජිතපුරයට පැනගත්හ.

ඒ වනවිට යුද්ධය, එහි ක්‍රියාත්මක කෙරුණු සියලු යුද උපක්‍රම මෙන්ම සියලු සන්නද්ධ ශක්‌තීන් ද උරගා බැලෙන දැවැන්ත මුහුණට මුහුණ සංග්‍රාමයක්‌ බවට පත්ව තිබුණේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

එළාර රාජ්‍ය පාලනය අනුරාධපුරයේ පටන් මහියංගනය දක්‌වා බලකොටු නගර විසි අටක්‌ ගොඩනංවා තිබුණ ද, ඒ සියල්ලටම සාපේක්‍ෂව අතිශයින් ශක්‌තිමත් වුත් දැවැන්තවූත් බලකොටුව ගොඩනංවා තිබුණේ විජිත නගරයේය.

එහෙම පිටින්ම බලකොටු නගරයක්‌ වූ එය වටා ඉදිකළ පරිඛා (දිය අගල්) ත්‍රිත්වයකි. දැවැන්ත තොරන් තුනක්‌ සහිතව නගරය වටා ඉදිකළ දැවැන්ත පවුරකි. ඝනකම් ලෝහයෙන් තනා නිමකළ බලකොටුවේ දොරටු එහි අනභිභවනීය බවට කදිම සාක්‌ෂියක්‌ සැපයීය.

එළාර රජුට අතිශය හිත පක්‌ෂපාති විජිත නමැති සිංහල සෙනෙවියා මුල පටන්ම එනම් ගතවූ සතළිස්‌ සතර වසර මුළුල්ලේම එහි පාලකයා විය.

මේ යෝධ බල කොටුවත්, එම නගරයත්, එළාර පාලනයේ බලසම්පන්න බව සහ ගම්භීර බව මොනවට ප්‍රදර්ශනය කළ ස්‌ථාන ද්වයක්‌ වූවාසේම එය දක්‌ෂිණ පථයෙන් මෙහි පැමිණි චෝළයන් බහුතරයක්‌ ප්‍රධාන කොටගත් පාණ්‌ඩ්‍ය, චේර, කලභ්‍ර, කාලිංග වැසියන් විශාල පිරිසකගේ නිත්‍ය වාසස්‌ථානය ද විය.

අනුරාධපුරය හැරුණුකොට බොහෝ රාජ්‍ය ප්‍රධානීන් තම මන්දිර තනාගෙන තිබුණේ ද විජිතපුරයේ මය.

අනුරාධපුරයේ බලකොටුවක්‌ තිබුණේ නැත. ඒ වෙනුවට අනුරාධපුරය ආරක්‍ෂා කළ ප්‍රධාන බලකොටු ද්වයෙන් (අනෙක මහේල නුවරය) වඩා සුවිශේෂ බලකොටුව වූයේ ද විජිතපුරය මය.

විජිත සෙනෙවියාට කිසි කලෙක ප්‍රශ්නයක්‌ තිබුණේ නැත. ඔහු ඕනෑම මොහොතක ඕනෑම සටනකට ද, ඕනෑම සැණකෙළියකට ද සූදානමින් සිටියේය.

එහෙත්, යුද්ධය ආරම්භ වී ගතවූ වසර හතරෙන් වසර දෙකක පමණ කාලයක පටන් ඔහුට ප්‍රශ්නයක්‌ තිබිණි.

එය නම්, බිඳ වැටුණ බලකොටු නගරවලින් පළා ආ සරණාගතයන්ගෙන් ද, ඥාති හිත මිත්‍රාදීන් ගෙන්ද මේ වනවිට විජිතපුරය පිරී පැවතීමය.

ගාමණී අබය රජුගේ සේනා විජිතපුරයට ද පහරදීමට පැමිණෙන්නේය යන ආරංචිය ලද වහාම මේ පිරිස්‌ විජිතපුරය හැර මහේල නුවරට ගියහ. එහි ස්‌ථීර පදිංචිකරුවෝ ද යුද්ධය අවසන් වූ වහාම නැවත පැමිණෙන්නේ යැයි පවසමින් ඔවුන් අනුගමනය කළහ.

සාමාන්‍ය ජනතාවගෙන් හිස්‌වු නගරය විජිතගේ සේනාංකවලට කෙළිබිමක්‌ ද, මහා ඉලංගම් මණ්‌ඩපයක්‌ ද විය. එහෙත්, විජිත විසින් ධාන්‍ය නීතිය පණවා තිබුණු හෙයින් මිනිසුන් ආහාර පරිභෝජනය ඉතා ප්‍රවේසමෙන් කළ යුතු විය.

මේ ධාන්‍ය නීතිය මේ වනවිට මහේල නුවර සහ අනුරාධපුර නුවරද ක්‍රියාත්මක විණි. ගාමණී අබය සේනා ඉතා දීර්ඝ කාලයක්‌ විජිතපුරය වටලා සිටීය යන රජරට රාජ්‍ය විශ්වාසය මීට එක්‌ හේතුවක්‌ විය.

ඊට තවත් හේතුවක්‌ ද තිබිණි.

අනුරාධපුරය හා යාබද ප්‍රදේශවල ස්‌ථීර පදිංචි ජනතාවට අවශ්‍ය ධාන්‍ය සහ වෙනත් ආහාර ප්‍රමාණවත්ව තිබුණ ද මේ වන විට ඒවායේ පිරී සිටින සරණාගත ජනතාව පිළිබඳ ප්‍රශ්නය රජරට රාජ සභාව විසින් කළින් කල්පනා කරන ලද්දේ නොවේ. එහෙයින්, සීමිත අස්‌වැන්නකින් අසීමිත පරිභෝජනයක්‌ සිදුවීම මේ වන විට රාජ්‍යය මහත් අසහනයකට පත්කෙරුණු කරුණක්‌ වී තිබුණේය.

මේ සියල්ලටම පිළියම වශයෙන් ගාමණී අබය විජිතපුරය වෙත එනතුරු නොසිට ඉදිරියට ගොස්‌ ඔහුගේ සේනා විනාශ කොට දැමිය යුතුය යන අදහසේ එළාර යුද මණ්‌ඩලය තරව පිහිටා සිටියේය.

එහෙත්, ඒ සඳහා දැන් තම සේනා ශක්‌තිය ප්‍රමාණවත් නොවන බව එළාරගේ අදහස විය. ඔහුගේ අදහස වූයේ එසේ කරනු සඳහා තමන් විදේශ හමුදාවක සරණ පැතිය යුතු බවය.

මෙහිදී එළාර රජුගේ සේම, අන් සියල්ලන්ගේම ද නිරායාශ තෝරා ගැනීම වූයේ චෝල දේශයය. ඒ අනුව මේ වන විටත් එළාර රජුගේ විශේෂ දූතයකු ඒ සඳහා ජම්බකෝල පට්‌ටනයෙන් නැව් නැග තිබිණි. උරෙයියූර් නගරයට ගොස්‌ එහි සිටින දීඝජන්තුගේ බෑණා වන භල්ලුක හරහා චෝළ මහ රජුගෙන් ආධාර පැතීම ඔහුගේ රාජකාරිය විය.

අවශ්‍ය වෙතොත් චේර  සහ පාණ්‌ඩ්‍ය රාජ්‍ය සඳහා ද පිටත්කොට යැවීමට දූතයන් ද නෞකා ද ජම්බකෝලපට්‌ටනයේ සුදානම්ව තිබිණි.

ඒ කෙසේ වුවත් මෙතරම් ඉක්‌මනින් ගාමිණී අබය සේනා විජිතපුරයට ළඟාවෙති යි එළාර හෝ ඔහුගේ යුද මණ්‌ඩලය හෝ කල්පනා කළේ නැත.

"ඒත් බියවන්නට කාරණාවක්‌ නැහැ. විජිතපුරය ජයගන්නට ඔහුට කවදාවත් බැහැ. මතක තබාගන්න මෙතැන් සිට ඇරඹෙන්නේ ඔවුන්ගේ ආපසු ගමනයි............."

භට්‌ටාර කීවේය.

පුදුමයකට මෙන් සියල්ලෝම එය පිළිගැනීමට කැමැත්තක්‌ දැක්‌වූහ.

ගාමණී අබය සේනාවට තබා මේ ලෝකයේ වෙනත් කිසිදු සේනාවකටවත් විජිතපුරය ජයගත හැකි නොවෙතැයි එළාර ද විශ්වාස කළේය.

එහෙත්, තම ඉරණමේ ගමන පිළිබඳ සිතිවිලි ද, බුබ්බුලාකාර චෛතයක සේයාවන්ද ඔහු තවමත් නොසන්සුන් නොකළා නොවේ.

ඒ කුමක්‌ වුවත් ගාමණී අබය විජිතපුරය වටලා නාස්‌ති කරන කාලය තුළ භල්ලුක ප්‍රධාන කොට පැමිණෙන මහා චෝළ සේනාව පිරිවරා ගාමණී අබය යළි මාගමටම එළවා දැමීම ඔහුගේ එකම බලාපොරොත්තුව විය.

එහෙයින්, ඔහු තම කල්යහළුවා හෙවත් චෝළ රජුට යැවූ සංදේශයේ මෙසේ සඳහන් කළේය.

"...දැනට මා අසරණ යැයි මම නොසිතමි. එහෙත්, මා අසරණ වීමට පෙර ඔබේ සරණ අපේක්‍ෂා කරමි...."

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

කාලයේ තිබෙන විශේෂය නම් භුක්‌ති විඳින විට කිසිවකුට එය නොදැනීමය. එහි බරපතල බව වැටහෙන්නේ ම එය ඔබේ ඇඟිලි අතරින් ආඳකුමෙන් ලෙස්‌සා ගිය පසුවය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

බලාපොරොත්තු රහිතව උදාවූ එක්‌ මඳ අඳුරු උදෑසනක ගාමණී අබය මහා සේනාවෝ විජිතපුරය වටලා සිටියහ.

ගාමිණී අබය මහ රජුගේ ධජය වූ කඩුවක්‌ අතින්ගත් සිංහ රූපය සහිත කොඩිය බල කොටුවට ඉදිරි නැගෙනහිරින් ලෙළදෙමින් තිබුණු අතර තවත් විවිධ ධජපතාක තෙදිසාවකින්ම දැකිය හැකි විය.

තව නොබෝ වේලාවකින් මහත්වූ රණ තූර්ය වාදන හඬක්‌ නරගය තුළින් ඇසෙන්නට වූ අතර ඊට පිළිතුරු වශයෙන් වූ මහත් රණ රංග ඝෝෂාවක්‌ ගාමණී අබය සේනාවලින් නිකුත් කෙරිණි.

ප්‍රථම පරිඛාව (දිය අගල) අසලින් මතු වූ ධනුර්ධයෝ දහසක්‌ එම දිය අගලෙන් මෙපිට සිටින ගාමණී අබය සේනාවන්ට දුනුදිය එල්ල කොට සිටියහ.

ඊළඟ මොහොතේ එම හී වරුසාව මහා මී මැසි නාදයක්‌ නංවමින් ගාමණී අබය සේනාංකයක්‌ වෙතට පියඹා ආවේය.

පළිස්‌වලින් නොපමාව එය වළක්‌වනු ලැබිණි.

විජිතපුර පළමු පරිඛාකණ්‌ඩියේ ධනුර්ධයෝ ඊළඟ ප්‍රහාරයට සැරසෙන අතරේ විශ්මය ජනක දෙයක්‌ සිදුවිය.

ඒ, අසුන් පිට නැඟුණු මහත්වූ ප්‍රහාරක සේනාවක්‌ දෙවන පරිඛාවේ පසු සුදානම් දනුර්ධයන් විනාශ කරමින්, ඒ දෙස සිට එක්‌වරම පළමු පරිඛාව වෙත මහත් වේගයෙන් පැමිණීමය.

තමන් පිටුපසින් පැමිණියේ සතුරන්ද මිතුරන්ද සිතා ගන්නට පෙර විජිතපුර පළමු පරිඛා කණ්‌ඩියේ සෙබළු ද වේළුසුමනගේ අශ්වාරෝහක සේනාංකයේ අසිපත් ප්‍රහාරවලට ලක්‌ වූහ.

ඒ වනවිට නන්දිමිත්‍රගේ සහ සුරනිමලගේ අශ්වාරෝක කණ්‌ඩාය ම්ද දෙවන පරිඛාව ආක්‍රමණය කොට ඒ දිගේ පැමිණෙමින් සිටියහ.

පැය කිහිපයක්‌ යන්නට මත්තෙන් සමස්‌ත රුහුණු සේනාවන්නටම බාධකයක්‌ වශයෙන් තිබුණේ යෝධ විජිතපුර බලකොටුවේ මහා පවුරත්, එහි එක්‌ පරිඛාවකුත් පමණකි.

ලෝහමය කවජයකින් සැරසී සිටි මහ සෙනෙවි විජිත, කොටු පවුර තුළ වූ තම මන්දිරයේ පහළ මාලයේ ඔබ මොබ සක්‌මන් කරමින් සිටියේය.

"ඔවුන් වටකොට පහර දෙනවා. භූතයන් මෙන් පෙනී සිටිනවා, මේ කවර යුද උපක්‍රමද? එසේ වන්නේ කොහොමද ?"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"කළුගලක්‌ ඇතුලට රිංගන්නේ කොහොමද කියල ද කල්පනා කරන්නේ ?"

බලකොටුව දෙස ධ්‍යානයකට මෙන් සමවැදී බලා සිටින නන්දිමිත්‍ර පසුපසින් මතුවූ ගොඨයිම්බර විමසුවේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 අගෝස්තු මස අටවන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය විසි නව වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි අට වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a Comment