Thursday, 29 December 2016

32 කොටස - භල්ලුක නෞකා සිතිජයේ දිස්‌වෙයි

මහා විජයග්‍රහණය අතැඹුලක්‌ සේ ප්‍රත්‍යක්‌ෂව තිබියදී ගාමණී අබය රජු එළාර රජු සමඟ ද්වන්ධ සටනකට එළඹීම මාගම සෙනෙවි මණ්‌ඩලය තුළ සතුටක්‌ ඇතිකළේ නැත.

"මෙය ක්‌ෂත්‍රීය රාජ ධර්මයන් පිළිබඳ ප්‍රශ්නයක්‌ නොවෙයි.........."

වේළුසුමන කීවේය.

"........රජකු තවත් රජකුට ද්වන්ධ සටනක්‌ සඳහා ආරාධනා කරන අවස්‌ථාව තිබෙනවා තමා, හැබැයි ඒ එකකු පරාජයේ මුවවිට සිටින අවස්‌ථාවක නොවේ, දෙදෙනාම යුද පිටියේ කරට කර සිටින අවස්‌ථාවකයි"

"මේ මොන කරට කර අවස්‌ථාවක්‌ද.............?"

නොසන්සුන් සුරනිමල නාස්‌ පුඬුවලින් පිඹිමින් කීවේය.

"...........මේක පැරදෙන එකාට අපේ කරපිටින් යන්න දෙන අවස්‌ථාවක්‌"

බොහෝ අයට ඇතැම්විට එකවරම වටහාගත නොහැකි ගාමණී අබය රජුගේ සංකීර්ණ මනෝධර්මයන් එකහෙළා අනුමත කරන ථෙරපුත්තාභයත්, මෙහිදී සුරනිමලගේ ප්‍රකාශය අනුමත කළ බවක්‌ පෙනිණි.

මෙතැන බොහෝ අය විසින් බොහෝ අදහස්‌ ප්‍රකාශ කරනු ලැබුව ද, ඒවායින් ඔවුන් කවර කරුණක්‌ අඟවන්නට උත්සාහ කළද ඒ සියල්ල තුළ සඟවන්නට යෙදුණු එකම කරුණක්‌ වී යැයි නන්දිමිත්‍රට සිතිණි.

ඒ වූකලී මේ සටන තුළ බලපවත්වන රජුගේ ජීවිත අවදානමය.

"...........අතිශූර සටන්කරුවකුට වයස ප්‍රශ්නයක්‌ නොවෙයි........."


එළාර රජු ගැන සිතා ඔහු කීවේය.

"...........ඒ වගේම අපේ හැම සටන් සම්ප්‍රදායක්‌ම හොඳින් පුරුදු පුහුණු වෙච්ච කෙනකුට ද්වන්ධ සටනක්‌ කරනවා කියන එකත් එතරම් දෙයක්‌ නොවෙයි......"

කවුරුත් රාක්‍ෂස අංගම් ශිල්පයේ විශාරදයා දෙස එක්‌වරම නෙත් යොමු කළහ. එහෙත්, කිසිවකුත් එපමණකින්ම සැනසුම් සුසුම් නොහෙළුහ.

ඒ වෙනුවට ඔවුහු මහ රජුගේ අදෘෂ්‍යමාන උපදේශිකාව වූ විහාර මහා දේවිය සොයා ගියහ.

මඳ සැලීමක්‌ හෝ වික්‌ෂිප්තියට පත්වීමක්‌ හෝ ප්‍රදර්ශණය නොකළ ඇය වැඩිවෙලා නොගෙන ඔවුනට මෙසේ කීවාය.

"............මහ රජුගේ තීරණය මා විමසා ගත් එකක්‌ නොවේ. එය ඔහු ගත් තනි තීරණයක්‌. සමහර තීරණ ඔහු ගන්නේ කා විමසාවත් නොවේ. ඔහුගේම සිතිවිලි විශ්වයෙන් විමසා බලා පමණයි. ඒ තීරණ කිසිවකුට වෙනස්‌ කළ නොහැකියි"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

තවමත් උතුරේ බලය පැවතියේ එළාර රජු අතය.

ඔහු අත උතුරේ බලය පැවතීම යනු වයඹ දිග මහාතිත්ථය යන මහා වරායත්, උතුරේ ජම්බකෝල පට්‌ටනය යන සුවිශේෂ වරායත් තවමත් ඔහු අත පවතින්නේය යන්න පමණක්‌ නොවේ. කවදත් එළාර රජු කෙරෙහි පැවැති නාවික බලය තවමත් එසේම පවතින්නේය යන්නද වේ.

ගාමණී අබය සේනාවලින් කිසිදු අවහිරයක්‌ නොමැති මේ බල ප්‍රදේශ හරහා දක්‌ෂිණ පථයේ චෝළ දේශයට පළා යමු යැයි භට්‌ටාරත්, දිඝජන්තුත් එළාර රජුට කොතෙකුක්‌ ඇවටිලි කළහ.

මුලදී ඔහු එයට විරුද්ධ වූයේ තමාත් තම රාජ්‍යයත් පිළිබඳ විශ්වාසයෙන් මෙහි පැමිණි දක්‌ෂිණ පථ සංක්‍රමණිකයන් හැරදමා යැමට ඔහු තුළ වූ නොකමැත්ත ප්‍රකාශ කරමිනි.

දැන් ඔහුට ඊට වඩා හේතුවක්‌ තිබිණි.

ඒ, ද්වන්ධ සටනකට එළඹෙන බවට ඔහු ගාමණී අබය රජුට දුන් ප්‍රතිඥාවය.

".........නමුත් එසේ කිරීමෙන් සිංහල සේනාවන් අනුරාධපුරයට ඇතුළු වෙනවා. අපට සිදුවන්නේ ආයුධ පහත හෙළා බලා සිටීමටයි......."

දීඝජන්තු දරාගත නොහැකි නොසන්සුන් බවකින් යුතුව කීවේය.

"එය යටත්වීමක්‌ ද, එසේ නොවන්නක්‌ ද ?"

භට්‌ටාර සෙමෙන් වුවත් ඇසුවේ වැදගත් ප්‍රශ්නයකි.

"එය යටත් වීමක්‌ නොවේ, සටන් විරාමයක්‌ පමණයි......."


එළාර කීවේය.

"..........මා ගාමණී අබය රජු පරදවා ජයගත් පසු මුළු යුද ජයග්‍රහණයේම අයිතිය මා සතුයි. ඉන්පසු සිදුවන සියලුම දේ තීරණය කරන්නේ ජයග්‍රාහක මා මිස රජු මළ පරාජිත සේනාවක සෙනවියන් නොවේ"

"එසේ නම් ද්වන්ධ සටන දැක බලා ගනු සඳහා නගරය තුළට පිවිසිය යුත්තේ අපට වඩා බෙහෙවින් විශාල සේනාවක්‌ නොවිය යුතුයි"

දීඝජන්තු කීවේය.

"එබඳු කොන්දේසියක්‌ අපේ සටන තුළ නැහැ........."

එළාර රජු කීවේ සන්සුන්වය.

මුසපත්වූ දීඝජන්තුට කෑගැසිණි.

"දෙපාර්ශවයේ සමබරතාව සඳහාවත් මා ඉදිරියට ගොස්‌ පහර දෙන්නම් ?"

"එපා!"

තිර ලෙසම කී එළාර රජ්ජුරුවෝ එතැනින් නික්‌ම ගියහ.

අසල තිබූ මාළිගා කණුවකට තම දැවැන්ත සිරුර තෙරපාගත් දීඝජන්තු හඬපිට නොවන සේ මුඛය ද එහි සිරකොට ගනිමින් මුළු වෙර යොදා කෑගැසුවේය.

"බ්‍රෑ........... ඈ..........."

යන අව්‍යක්‌ත අමිහිරි හඬක්‌ එකල්හි ඔහු මුවින් නැගී ආවේය.

ඒ දීර්ඝ අමිහිරි හඬ නිමාවන්නට පෙර මිත්‍රත්, තුම්බ නමැති සුළු සෙනෙවියකුත් එතැනට දිව ආහ.

වඩාත්ම ඉක්‌මන් හීපොළෙන් ලැබුණු පණිවිඩයක්‌ ඔවුන් අතවිය.

පණිවිඩය එවා තිබුණේ මහා තිත්ථයේ සිටින වර්මන් නමැති චේර  සෙනෙවියා විසිනි.

"භල්ලුක සෙනෙවිතුමන්ගේ නෞකා සිතිජයේ දිස්‌වෙයි. සුළඟ යහපත් නම් හෙට අනිද්දාම ඔවුන් ගොඩබිමට පැමිණෙනු ඇත"

"සුළඟ, සුළඟ, සුළඟ, හෝ..... සුළඟ පෙරදිගින් එන්න. බටහිරින් එන්න. අප ගලවා ගන්න...."

දීඝජන්තු මහත් වූ චිත්තප්‍රීතියෙන් යුක්‌තව කෑගැසුවේය.

"මිත්‍ර සූදානම් වනු. මා පෙර මඟට ගොස්‌ දුෂ්ට ගාමණීට පහර දෙනවා. කිසිවකුට එය වළකනු නොහැකියි. මගේ බෑණා අනුරාධපුරයට ළඟා වනතුරු ඒ අහලකටවත් පිවිසීමට සිංහල සේනාවන්ට මා ඉඩදෙන්නේ නැහැ........"

මිත්‍ර යමක්‌ පැවසීමට ගත් උත්සාහය, භට්‌ටාර තම සුරතින් ඔහු මුව වැසීමෙන් වැළැකී ගියේය.

"මේක හිතුවක්‌කාර තීරණ උවමනා වේලාවක්‌, රජු හිතුවක්‌කාර තීරණ ගෙන අප බිලි දෙන්නට තනන වේලාවක්‌, දීඝජන්තුගේ හිතුවක්‌කාර කමට ඉඩදෙනු. භල්ලුක පැමිණෙන තුරු දුෂ්ට ගාමණී පමා කිරීමට ඔහුට ඉඩදෙනු"

මිත්‍ර තම සුරතේ තැවරුණු භට්‌ටාරගේ ඛේටය මහත් අපුලකින් යුතුව පහතට නැමී තම වස්‌ත්‍රයෙන් පිස දැම්මේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ජයග්‍රාහී මාගම සේනාවන්ට අනුරාධපුරයේ තොරතුරු දැන් පුදුම ඉක්‌මනින් ලැබුණේය.

ඒ, මොහොතින් මොහොත පළා එන්නන් විසින් අනුරාධපුරයේ මොහොතින් මොහොත තොරතුරු ද රැගෙන ආ නිසාය.

භල්ලුකගේ චෝළ හමුදාවේ පැමිණීමෙන් උත්තේජනය ලැබූ සෙනෙවි දීඝජන්තු එළාර අණට ද පිටුපා තම සේනාංකය ද රැගෙන ඉදිරියට පැමිණෙන බව ඒවායින් කියැවුණු වැදගත්ම තොරතුර විය.

මාගම යුද සෙනෙවි මණ්‌ඩලය ප්‍රීතියෙන් ඉපිළ ගියේය.

"දීඝජන්තුවා ගැනීමට මට ඉඩදෙන්න" 


සුරනිමල නන්දිමිත්‍රට ආයාචනා කළේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

අනුරාධපුර නගරයට ඉතා ආසන්නයේ පිහිටි කුඩා වැවක්‌ අසලට දීඝජන්තුගේ සේනාංකය පැමිණියේ මහා ඝෝෂාවක්‌ නඟමිනි.

කිසිදු ඝෝෂාවක්‌ නොනැඟු සුරනිමල ගේ සේනාවෝ වැවේ මෙහා ඉවුරේ සූදානමින් සිටි අතර ඊට බොහෝ මෑතින් වූ කුඩා කඳු ගැටයක්‌ මත නන්දිමිත්‍රත්, වේළුසුමනත් සටන නැරඹීමට සුදානම්ව සිටියහ.

දීඝජන්තුගේ සේනාවේ ධනුර්ධයන් නොසිටි අතර එය අසිපත්, තෝමර සහ ත්‍රීශූලවලින් සන්නද්ධ වූ වේගයෙන් කඩා පනින වර්ගයේ සේනාවක්‌ විය.

කළු ඇඳුමින් සැරසී සිටි ඔහුගේ ප්‍රහාරක සෙබළුන් කළු ජටාවලින් හෝ කළු පැහැති හිස්‌ ආවරණවලින් හෝ සැරසී සිටියහ.

ප්‍රහාරකයෝ ඊළඟ මොහොතේ දණක්‌ පමණ ජලයෙන් පිරී තිබුණු කුඩා වැව තරණය කරමින් මාර හමුදාවක්‌ මෙන් ඉදිරියට එනු පිණිස ජලයට පැන්නෝය.

කළු ඇඳුම් ඇඳියවුන් ඉදිරියෙන්ද, පසුබිමින්ද, ඔවුන් අතරින්මද, සුදු ජල ප්‍රහාරයන් නැංවුණු අතර, ඔවුහු වේගයෙන් ඉදිරියට පැමිණියහ.

හදිසියේම වැව් ජලය යටින් ඔවුනට ප්‍රතිමුඛව මතුවූයේ සුරනිමලගේ සුවිශේෂ කුඩා දුනු සේනාංකය විය.

මාරපංගම් නමින් හැඳින්වූ මේ කුඩා දුනු විශේෂය ලෝහයෙන් තනන ලද්දක්‌ වූ අතර ඉතා වේගවත් හීසර ප්‍රහාරයන් ළඟ ළඟම එල්ල කළ හැක්‌කේ ද විය.

මුලින් පැමිණි දීඝජන්තු කණ්‌ඩායමේ සියළුම සෙබළෝ නොවැරදීම මාරපංගම් ප්‍රහාරයට ලක්‌වූවෝය.

මේ අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් ඔවුන් කෙතරම් සංඛ්‍යාවක්‌ වැව තුළම මරණයට පත්වූයේ ද යත් කැලැතෙන වැව් ජලය වැඩිවෙලාවක්‌ යන්නට පෙර මඩ මිශ්‍ර රතු පැහැයකට හැරිණි.

සුරනිමලගේ අදහස වූයේ ඉක්‌මනින්ම දීඝජන්තුගේ ඉදිරිපෙළට පහරදී එය විනාශ කොට සතුරා බියෙන් ත්‍රස්‌ත කොට, ආපසු හැරී පළායන ඔහුගේ මැද පෙළ ලුහුබැඳ අනුරාධපුර නගරයට ඇතුළු වීමය.

එහෙත් ඒ අදහස ව්‍යර්ථ විය. ඊට හේතු වූයේ ලුහුබැඳ යැමට ඉතිරිවූ මැද පෙළක්‌ නොමැතිව මුළු මහත් දීඝජන්තුගේ සේනාවම සුරනිමලගේ සේනාවන් විසින් සමූල ඝාතනය වීමය. 

මහියංගනයෙන් මීට තෙවසරකට පමණ පෙර ඇරඹුණු සටනේ එළාර සේනාංකයක්‌ මුළුමනින්ම විනාශයට පත්වූ ප්‍රථම මෙන්ම අවසාන අවස්‌ථාව ද එයම විය.

"මා මේ බව දැන සිටියා........."

එළාර ඉතාම දුක්‌මුසු හඬින් කියා සිටියේ සතුරු සේනාපතියන් විසින් තමා වෙත එවා තිබූ දීඝජන්තු මහ සෙනෙවියාගේ මළසිරුර දෙස බොහෝ වේලාවක්‌ බලාසිටීමෙන් අනතුරුවය.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

භල්ලුකගේ චෝල සේනාවන් මහාතිත්ථයට ගොඩබැස තිබීම එළාර තුළ අමුතු බලාපොරොත්තුවක්‌ දැල්වූයේ නැත.

ඔහු එකම අරමුණකින් යුතුව ගාමිණී අබය සමඟ ද්වන්ධ සටනට සැරසිණි.

සාමාන්‍යයෙන් ද්වන්ධ සටන්වල සම්ප්‍රදාය වූයේ සටනට ආරාධනා කරන්නා එසේ කළ පසුව ආරාධනා ලබන්නා විසින් සටන් කළ යුතු ස්‌ථානයත්, ආයුධ මොනවා ද යන්නත් දැනුම් දිය යුතු වීමය.

මෙහිදී ආරාධිතයාට හෙවත් ප්‍රතියෝජකයාට යම් වාසියක්‌ සැළසෙනු වැළකිය නොහැකි විය. මක්‌ නිසා ද, ඔහු ඔහුට වාසිදායක සියලුම ආකාරයන් මෙහිදී යෝජනා කරන නිසාය.

ඒ අනුව එළාර රජ්ජුරුවෝ හස්‌තීන් පිට නැඟී සිදු කෙරෙන්නා වූද, තෝමරය ආයුධය වශයෙන් භාවිතා කෙරෙන්නාවූ ද, සටනක්‌ ප්‍රතියෝජනා කළහ.

සාමාන්‍යයෙන්, හස්‌තීන් පිටනැඟී කෙරෙන සටනකදී, සටන්කරුවන් තම දෙපා පොළොව මත තබා කෙරෙන සටනකදී මෙන් උනුනුන්ගේ ශාරීරික ශක්‌තියත් දරා ගැනීමේ ශක්‌තියත්, එතරම් උරගා බැලෙන්නේ නැත.

මෙබඳු සටනක විශේෂත්වය නම් සටන්කරුවාට එකවිටම, තම යුද වාහනය වන හස්‌තියා මෙල්ලකර ගැනීමේ හැකියාවත්, සමබරව ඌ මත පිහිටා සිටිමින් ප්‍රතිවාදියාට නිවැරදිව තෝමර ඉලක්‌කය ගැනීමේ හැකියාවත් තිබිය යුතු වීමය.

කාලිංග ඛාරවේල රජුගේ රාජ්‍ය සේවයේ යෙදෙන කාලයේ පටන්ම එළාර තෝමරය දමා ගැසීමේ ශූරයකු විය. අසුන්පිට නැගී ගෝනුන් හඹාගොස්‌ උන් තෝමරයෙන් ඇන මැරීම පරණ පුරුද්දක්‌ වූ මුත් එළාර හස්‌තීන් පිට යැම පුරුදු පුහුණුවූයේ රජරට ආක්‍රමණය කිරීමෙන් පසුවය. ඔහුගේ විශ්වාසවන්ත තෝරාගැනීම වූයේ පර්වත හස්‌තියාය.

පර්වත වූ කලී සිහලද්වීපයේ උපන් හස්‌තියකු නොවේ, මිග වර්ගයට අයත් දැවැන්ත හස්‌තිරාජයකු වූ ඔහු චේර රාජ්‍යයෙන් එළාර ලද පරිත්‍යාගයක්‌ විය. සටනට පුරුදු පුහුණු කරන ලද දැවැන්ත සත්ත්වයා හැමවිටම එළාර තුළ මහත් අභිමානයක්‌ ද ධෛර්යයක්‌ ද ඇති කළේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"මේ කුමක්‌ද ගාමණී, මා සිතා සිටියේ ද්වන්ධ සටන මහ පොළොවේ සිදුවන්නක්‌ බවයි"

විහාර මහා දේවිය සටනේ අනපේක්‍ෂිත ස්‌වරූපයෙන් මඳක්‌ කණස්‌සල්ලට පත්ව සිටියාය.

"මා සිතා සිටියේත් එසේමයි, නමුත් ඔහුට වුවමනා අහසේ නම් එය අහසේ වේවා, පොළොවේ නම් එය පොළොවේ වේවා, ඕනෑම තැනක සටනට මා සුදානම්"

විහාර මහා දේවිය තම දෙපා වැඳ ආශිර්වාද ලබාගන්නා ආදරණීය දරුවාගේ හිස සිප ගත්තාය.

උදාවන මෙබඳු මොහොතක්‌ පිළිබඳ සේයාවක්‌ ඈ තුළ ඇතිවෙමින් නැතිවෙමින් පැවතියේ දැනට බොහෝ කාලයකට පටන්ය.

මීට වසර සාළිස්‌ ගණනකට පෙර සිලාපස්‌සය පිරිවෙන් භූමියේදී හමාගිය ගුප්ත මහ සුළඟ අද තම හද පතුලෙන් හමායන්නේ යැයි ඇයට හැඟුණේය.

එහෙත්, ඒ සුළඟ අද එදාට වඩා උණුසුම් බවද, එය අද තම හදවතින් පටන්ගෙන මුළු සිරුරම දවා යන්නේ යැයි ද ඇයට හැඟුණේය.

"මගේ පුතාට තෙරුවන් සරණයි" 


විහාර මහා දේවිය කඳුළු පිරුණු දෙනෙතින්ද බිඳුණු හඬකින්ද යුතුව කීවාය.

තම කුසයෙහි ඉපදෙන්නට ආරාධනා කරන මවකගේ හඬක්‌ ද, ඒ හඬ සමඟ මිශ්‍ර වූ ඉකිබිඳුමක හඬක්‌ ද හදිසියේම තම චිත්තාභ්‍යන්තරයෙන් ඔහුට ඇසුණේය.

ඒ සමඟම සංසාරයක්‌ මුළුල්ලේ පුරුදු පුහුණු කරන ලද භාවනාවකට අදාළ වචනීය ස්‌වරූපයක්‌ ඔහු සිත්හි කොහේ හෝ මතුව එන්නට වූයේය.

"තමන්ගේ හෝ අන් අයගේ හෝ සුවය උදෙසා කිසි පවක්‌ නොම කළෙමි.
පුතකු, ධනයක්‌ හෝ රටක්‌ හෝ වුව පතා පවක්‌ නොමකළෙමි.
තමන්ගේ හිතසුව පතා අදහැමි මඟක්‌ අනුගමනය නොකළෙමි.
කරුණා ශාසනයේ චීරස්‌ථිතිය පතා පමණක්‌ම, එය කිසිවිටෙක අනුමත නොකරන මඟක නැගී සිටියෙමි.
එය කිසිවිටෙක අනුමත නොකරන අවි දැරීමි........."


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ගාමණී අබය මහා සේනාව සාමයෙන්ද, යුද්ධයෙන්ද තොරව අනුරාධපුර නගර ප්‍රාකාරයටත් දිය අගලටත් මෙහායින් වූ පිටත නගර පරිශ්‍රයට පිවිසියහ.

කිසිවකු විසින් කිසිදු ප්‍රතිවිරෝධයක්‌ නොදක්‌වන ලද හෙයින් අවි ගැටෙන හඬක්‌ තබා අවි ඔසොවන හඬක්‌වත් නෑසිණි.

ඇතුළු නුවර පවුර මත්තෙහි හෝ පිට නුවර පරිශ්‍රයෙහි හෝ රැස්‌කකා සිටි අති විශාල යුද සෙබළුන් අතරින්ද හඬක්‌ නොනැගිණි.

ඇත්, අස්‌, රිය සේනාංක හෝ වෙනත් යන්ත්‍ර ඔසොවාගත් සේනාංක කිසිවක්‌ හෝ නොපැමිණි අතර දස මහ සෙනෙවිවරුන් ප්‍රමුඛ සියළුම පාබල සේනාංක පැමිණියෝය. ගාමණී අබය රජ්ජුරුවෝ මනා ලෙස වූ යුද සන්නාහයකින් සරසන ලද කඩොල් ඇතුපිට නැගී පැමිණියහ.

අනුරාධපුර නගර ප්‍රාකාරයට දකුණු දෙසින්ද, කුඹල් ගමට බටහිරින්ද එළාර රජු විසින් කරවන ලද ප්‍රතිමා ගෘහයට නැගෙනහිරින්ද වූ දක්‌ෂිණ ද්වාරය අසලට පැමිණි කඩොල් ඇතු රජුගේ සංඥාව අනුව නවතන ලද්දේය.

මේ වූ කලී එළාර රජු විසින් සටන සඳහා යෝජනා කරන ලද ස්‌ථානය විය. එසේම එළාර රජු විසින් යෝජනා කරන ලද වේලාවද විය.

මොහොතකදු පමාවකින් තොරව දක්‌ෂිණ ද්වාරය විවර කෙරිණි.

එළාර රජ්ජුරුවෝ ද සන්නද්ධ ඇඳුමකින් මනා ලෙස සරසන ලද පර්වත හස්‌තියා මත පැමිණියෝය.

එළාර දුටු විගසම ගාමණී අබය වෙතින් මඳ සිනාවක්‌ පළවිය.

ඒ, තමන් මෙතෙක්‌ කාලයක්‌ නොදැක සිටි මිනිසා දැකීමෙන් හටගත් විශ්මය විසින් මතු කරන ලද්දක්‌ විය.

ගාමණී අබය ව මුල්වරට දුටු එළාර තුළ එබඳු සිනහවක්‌ පහළ වූයේ නැත.

කිසි දිනෙක දැක නොතිබුණ ද ඔහු මේ මුහුණ ඕනෑ තරම් තම මනසින් දැක තිබුණේය. මධ්‍යම තරුණ වියේ වූ මේ කඩවසම් මිනිසාගේ මුහුණ ඔහු දුටුවේ මේ මිනිසා උපදින්නටත් පෙර බව ඔහුට හදිසියේම සිහිපත් විය.

ඔවුහු මුවින් නොබැණ යම් වේලාවක්‌ එකිනෙකා දෙස බලා සිටියහ.

හස්‌තීන් පිට නැගී සිටියාට තවමත් ඔවුන් අතට තෝමර නොසපයන ලද්දේ විය.

ඊළඟට දෙදෙනාටම ශ්‍රවණය වූයේ තම තමන්ගේ ඇත් ගොව්වන් විසින් හස්‌තීන්ගේ පා ලිහිල් ලෙස බැඳ දමා තිබූ අන්දූකයන් ගලවන හඬය.

එළාර තුළ තැති ගැන්මක්‌ නොවිණි.

එහෙත්, ඔහුට හදිසියේම වාගේ තම මනසට මහත් බරක්‌ව පැවැති ශිලා ස්‌ථම්භය සිහියට ආවේය. ඒ සමඟම ලේ වැකුණු මහළු අසේල රජුගේ මුහුණ ඔහු ඉදිරියේ මැවිණි.

යළි යළිත් මැවී පෙනුණු අසේල මුහුණ ඔහු තුළ තැතිගැන්මක්‌ ඇති කළේ නැත.

එහෙත්, හදිසියේම අසෙල මුහුණ තුළින් ඔහු තමාගේම මුහුණ දුටුවේය. ඔහු තුළ තැතිගැම්මක්‌ ඇති වූ මොහොත එය විය.

මරණාසන්නව සිටින තමා තරුණ ගාමණී අබය රජුගේ උකුල මත අඩපණව සිටියි.

"මායාවන්ට මා පරාජය කළ නොහැකියි" 


ඔහු තමාට කොඳුරා ගත්තේය.

"ඒ අනාගතය නම් එයට ද මා පරාජය කළ නොහැකියි"


යන්න ඔහු කාහටත් ඇසෙන සේ කීවේය.

වෙනකාටත් වඩා හොඳින් ඔහු ඉදිරියේ සිටින ගාමණී අබයට එය ඇසිණි.



⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 අගෝස්තු මස විසි නවවන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය තිස් දෙවන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසිනව වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a Comment